රාගම රෝහලේ තිරිසන් වෛද්‍යවරු

මිට සති 2කට පමණ පෙර මොලේ ලේ ගැලීමක් නිසා (ඒ බව නොදැන) රාගම රෝහලට ඇතුලත් කල රෝගියෙකු ඊට දින 4කට පමණ පසු කොළඹ ජාතික රෝහලට මාරු කර යැවුනා. රාගම රෝහලට ඇතුලත් කරන විට හොද තත්වයේ සිටි එම රෝගියා අමාරුකමක් ලෙස කියා තිබුනේ දැඩි හිසේ කැක්කුමක් තිබෙන බව පමණි. රෝහලට ඇතුලත් කිරීමෙන් දින කිහිපයකට පමණ පසු දැඩි ලෙස වමනය දැමීමට පටන් ගෙන ඇති අතර ඒ බව වෛද්‍යවරුන්ට පැවසූ විට කියා ඇත්තේ ‘ඒ දීපු බෙහෙත් වලට වමනය යන’ බවයි.

මොලේ ලේ ගැලීමක් තිබියදී ඒ බව හාන්කවිස්සියක්වත්  නොදැන සිටි වෛද්‍යවරුන් සත්කාර කොට ඇත්තේ හදවතේ ආකුලතාවකට බව ඥාතීහු පවසති. බොහෝ අසාද්‍ය වූ රෝගියා ඊට දින 3කට පමණ  පසු ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කොට දිනක් ගත වීමට ප්‍රථම මිය ගොස් තිබිණි. ජාතික රෝහලේ වෛද්‍යවරු පවසා තිබුනේ තව දිනකට හෝ පෙර රැගෙන අවේ නම් රෝගියා ජිවත් කරවීමට හැකි විය හැකි බවයි.

රාගම රෝහලේ වෛද්‍යවරුන්ගේ වෘත්තීය නොසැලිකිලිමත් කම නිසා මියගිය පළමු සහ අවසාන රෝගියා ඔහු නොවේ. තවත් මෙවැනි ජිවිත කියක් නම් මෙවැනි තිරිසන් වෛද්‍යවරුන් නිසා ශරීර හැර යයිද යන්න අපට කිව නොහැකිය.

කුඩා දරුවන් සිටින දුප්පත් මවකට තම ස්වාමිපුරුෂයා මේ ලෙස අහිමිව ගියේ නම්, තම පවුලේ එකම දරුවා අසරණ දෙමාපිය යුගලකට මෙලෙස අහිමිව ගියේ නම්, ඔවුන්ගේ ඉරණම කුමක් විය හැකිව තිබුනේ ද ?

පොතේ දැනුම මත පදනම්ව න්‍යාය ධර්ම කට පාඩම් කොට ප්‍රයෝගික පුහුණුව ලැබූ මේ මිනිසුන්ට සාහිත්‍ය, සමාජ ධර්ම, ඉතිහාසය හා සමාජ වගකීම් පිළිබද මෙලෝ අවබෝධයක් නැති වීමෙන් මිනිස් ගති ලක්ෂණද පරිහානියට පත් වී ඇත සෙයකි. රජයේ රෝහලක වැඩ කිරීමට සිදු වීම වෛද්‍යවරුන් ලෙස ඔවුන් ලැබූ දඩුවමක් ලෙස ඔවුන් සිතනවා ඇති.

වෘත්තීය, ආචාර ධර්ම හා නිතිය මෙහිදී කුමන ආකාරයට හැසිරුනද, ස්වභාවධර්මයාගේ දඩුවම මෙවැනි අමානුෂික මිනිසුන් කෙරෙහි කිසියම් දිනක හෝ ලැබෙනු ඇති.

Advertisements

14 thoughts on “රාගම රෝහලේ තිරිසන් වෛද්‍යවරු

  1. අපරාදේ සයිට්මයේ දොස්තර කෙනෙක් වැඩ කලානම් ඒ එකවුන්ට් එකට දාලා සිටමය වහලා දාන්න කියලා තව පිකට් එකක් කරන්න තිබුනා .අනේ ඉතින් මක්කොරන්න ද ? නැතිව වෙන මොනවා කරන්නද

    Liked by 1 person

    • ඔබගේ ප්‍රතිචාරයට ස්තුති. සයිටම් වැනි ආයතන රටට අවශ්‍යයි. එහෙත් ඒවායේ ගුණාත්මක බව රැකගෙන ක්‍රමවත් පාඨමාලාවක් ලබා දෙන බවට වන විශ්වසනීයත්වයක් තිබිය යුතු බව මගේ පිලි ගැනීමයි. වෛද්‍යවරුන්ගේ මේ ඒකාධිකාරය බිද හෙලීමට එය මහත් රුකුලක් වනු ඇත.

      කැමතියි

  2. 1/3

    The Read Us සබඳ,

    ඔබගේ මෙම වියුණු සටහන ඉතා වැදගත් එකකි. මෙම සිදුවීමට අදාළ නිල තොරතුරු මට දැන ගන්නට නො ලැබිණි. එහෙත් ඔබ පවසන තොරතුරු මත විමසා බැලීමේ දී ද පෙනී යන්නේ මෙම සිදුවීමට වෛද්‍යවරුන්ගේ අනවධානය සහ/හෝ අසමත්බව හේතු වී තිබිය හැකි බව යි. එපිළිබඳ මට නිශ්චිත ව පැවසිය නොහැකි ය. මතු සටහන මා ලියන්නේ පොදුවේ සැලකීමේ දී හිසේ කැක්කුමට ප්‍රතිකාර කිරීම ආශ්‍රිත වැදගත් කාරණ අලළා ය.

    හිසේ කැක්කුම යනු අතිශය වැදගත් රෝග ලක්ෂණයකි. හිසේ කැක්කුම සඳහා වෛද්‍යවරයකු වෙත පැමිණෙන රෝගියකුගේ සායනික විස්තරය එම රොගියාගේ වෛද්‍ය විද්‍යාත්මක ගැටලු විසඳීමේ දී තීරණාත්මක ය.

    හිසේ කැක්කුම විවිධ හේතු නිසා ඇති විය හැකි ය. එය කිසියම් මානසික පීඩාවක් වැනි හේතුවක සිට හිසේ/මොළයේ අභ්‍යන්තරයේ රුධිර ගැලීමක් දක්වා වූ විවිධ හේතු නිසා ඇති විය හැකි ය. එනිසා හිසේ කැක්කුම විවිධාකාර ය.

    ඇතැම් හිසේ කැක්කුම් වෙනත් රෝගාබාධයකට හේතු ප්‍රකාර ව සම්බන්‍ධ නො වී ඇති වන හිසේ කැක්කුම් ය. ඒවා ප්‍රාථමික හිසේ කැක්කුම් නම් වේ. ප්‍රාථමික හිසේ කැක්කුම් බොහෝමයක් සැලකිය යුතු ග්ලාන්‍යයකින් (රෝගාතුර භාවයකින්) යුක්ත ව සාමාන්‍ය දිවි පෙවෙතට බාධා කරයි.

    ඇතැම් හිසේ කැක්කුම් වෙනත් රෝගාබාධයකට හේතු ප්‍රකාර ව සම්බන්‍ධ වී ඇති වන හිසේ කැක්කුම් ය. ඒවා ද්විතීක හිසේ කැක්කුම් නම් වේ. ද්විතීයීක හිසේ කැක්කුම් බොහෝමයක් සැලකිය යුතු මර්ත්‍යතාවකින් (මාරාන්තික භාවයකින්) යුක්ත ව රොගියාගේ ජීවිතයේ පැවැත්මට බාධා කරයි.

    බොහෝමයක් සුලබ හිසේ කැක්කුම් මාරාන්තික නො වේ. එසේ වුව ද දුලබ මාරාන්තික හිසේ කැක්කුම් අප විසින් නො සලකා හළ යුතු නැත. රොගියකුගේ හිසේ කැක්කුමක් ඇගයීමේ දී එකී හිසේ කැක්කුම ඔහුගේ ජීවිතයට හානිදායක හිසේ කැක්කුමක් වන්නේ ද එසේ නොවන්නේ ද යන්න සායනික වෛද්‍යවරයා විසින් අනිවාර්යයෙන් ම නිර්ණය කළ යුතු ය. පීඩනයක/තෙරපුමක ආකාරයේ හිසේ කැක්කුම් හෝ ඉරුවාරදය හෝ සුලබ මාරාන්තික නො වන හිසේ කැක්කුම් වුව ද සෑම හිසේ කැක්කුමක් ම එකී මාරාන්තික නො වන හිසේ කැක්කුම් ලෙස සලකා ⁣නොවිමසිලිමත් ව කටයුතු කිරීම අඥානකමකි.

    කිසියම් රෝගියකුගේ හිසේ කැක්කුම,

    තම ජීවිත කාලයේ අත්විඳි නරක ම හිසේ කැක්කුම ය යි ඔහු/ඇය පවසයි නම් හෝ

    එසැණ මතු ව එසැණින් (තත්ත්පර හෝ මිනිත්තු හෝ කීපයක් ඇතුලත) ඉතා තීව්‍ර වේදනාවක් බවට පත් වූයේ ය යි ඔහු/ඇය පවසයි නම් හෝ

    මඳ පීඩාවකින් හෝ දැඩි ව්‍යායාමයනින් හෝ කැස්සකින් හෝ යම් බරක් එසවීමෙන් ⁣හෝ පසු ව හට ගනී ය යි ඔහු/ඇය පවසයි නම් හෝ

    ඉහළ තීව්‍රතාවකින් යුක්ත ව උණ සහ ගෙල ප්‍රදේශයේ මාංශ පේශීවල තද ගතියක් සමඟ පවතී යයි ඔහු/ඇය පවසයි නම් හෝ

    තීව්‍ර ලෙස ඇති වී ඒ සමඟ වික්ෂිප්තභාවයට පත්වීමක්, චර්යාව වෙනස්වීමක්, වලිප්පුව සෑදීමක් ආදී රෝගලක්ෂණ සමඟ පවතී නම් හෝ

    අභිනවයෙන් හට ගන්නේ ශරීරයේ යම් අංගයක දුර්වලතාවක්, හිරිවැටීමක් හෝ ⁣දෘෂ්ටියේ බාධාවක් සමඟ සම්බන්‍ධ ව නම් හෝ

    එම හිසේ කැක්කුම ඉතා බැරෑරුම් ලෙස සැලකිය යුතු ම ය. ඉහත කරුණුවලට අමතර ව යම් පුද්ගලයකුගේ,

    පළමු වැනි තීව්‍ර හිසේ කැක්කුම,

    වයස අවුරුදු 55 කට පමණ වැඩි වියේ දී හට ගන්නා හිසේ කැක්කුම,

    හිසේ යම් නිශ්චිත ප්‍රදේශයක් ස්පර්ශ කළ විට වේදනාව දැ⁣නීමක් සහිත ව හට ගන්නා හිසේ කැක්කුම,

    නින්දට බාධා ඇති වී නින්දෙන් අවධි වන විට තීව්‍ර ලෙස පවතින හිසේ කැක්කුම

    ආදිය ද දැඩි අවධානයට ලක් විය යුතු හිසේ කැක්කුම් ය. මක් නිසා ද යත් එවැනි හිසේ කැක්කුම් දරුණු/මරාන්තික රෝග තත්ත්වයන් සමඟ බැඳී තිබිය හැකි නිසා ය.

    මෙහි දී මම තවත් කරුණක් පවසනු රිසියෙමි. හිසේ අභ්‍යන්තරයේ රුධිර වහනක් සිදුවීම නිසා හට ගන්නා ඉතා භායානක හිසේ කැක්කුම්වල දී ඛන්තු රේඛන සටහනේ (Electrocardiogram – ECG) කිරීටක ධමනි අවහිරතාව නිසා හෝ හෘදයේ ස්පන්දනය අක්‍රමිකතා නිසා හෝ ඇති විය හැකි ආකාරයේ වෙනස්කම් ද නිරීක්ෂණය කළ හැකි ය. මෙවැනි සංකීර්ණ අවස්ථාවන් කළමනාකරණයේ දී මනා දැනුමක් ද සායනික කුසලතාවක් ද අත්දැකීම් ද අවශ්‍ය ය. සායනික වෛද්‍යවරුන් එම ගුණාංග සම්මත ලෙස ප්‍රගුණ කර තිබිය යුතු ය.

    Cont…

    කැමතියි

  3. 2/3

    යම් ලෙසකින් දැඩි හිසේ කැක්කුමක් සහිත ⁣රෝගියකු කිරීටක ධමනි අවහිරතාවකින් හෘදයාබාධ තත්ත්වයක් (සත්‍ය ලෙස ම) හට ගෙන ඇති ලෙස සලකා කටයුතු කිරීම විමසිලිමත් ව කළ යුතු දෙයකි. මක් නිසා ද ඇතැම් විට එම රෝගියාට දෙනු ලබන ප්‍රතිකාර නිවැරදි ව රුධිර කැටි ගැසීම අඩු කරන හෝ සෑදුණු රුධිර කැටි දිය කර හරින හෝ ඖෂධ වන නිසාත්, යම් හෙයකින් දැඩි හිසේ කැක්කුමට හේතුව හිසේ අභ්‍යයන්තරයේ රුධිර වහනයක් වී තිබුණේ නම් එම තත්ත්වය පෙර කී ප්‍රතිකාර මගින් ඉතා දුස්සාධ්‍ය තත්ත්වයකට පත් විය හැකි නිසාත් ය. අප වටහා ගත යුතු වැදගත් කරුණක් නම් යම් හිසේ කැක්කුමක් තිබූ පමණින් ම හෘදයාබාධ තත්ත්වයකට ප්‍රතිකාර නො කර සිටිය යුතු නැති බව ය. ඇතැම් හෘදයාබාධ ඇතැම් රොගීනට කිසිදු හෘද වේදනාවක් නොමැති ව ද හට ගත හැකි බව සිහි තබා ගත යුතු ය. එසේ නම් සැලකිය යුතු ආකාරයේ හිසේ කැක්කුමක් ඇති අවස්ථාවක දී ම ප්‍රතිආතංචක (රුධිර කැටි ගැසීම වළක්වන) ප්‍රතිකාර දිය යුතු රෝග තත්ත්වයක් ද පවතී නම් වඩා සුදුසු සම්මත ක්‍රමය CT පරීක්ෂණයක් සිදු කර හිස අභ්‍යන්තරයේ රුධිර වහනයක් තිබේ ද නොතිබේ ද යන්න නිෂ්චිත කර ගැනීම ය. හිසේ කැක්කුම පිළිබඳ රෝගියාගේ දුක්ගැනවිල්ල නො සලකා හැර කටයුතු කළ හොත් මෙවැනි කරුණු පිළිබද අවධානය යොමු නො වේ. වෛද්‍යවරු රෝගියාට මනා ව සවන් දීමට පුරුදු විය යුත්තේ එනිසා ය.

    මම තවත් කරුණු කීපයක් පවසමි:

    හිසේ කැක්කුම සඳහා ප්‍රතිකාරයට පැමිණෙන සියලු රොගීනට CT පරීක්ෂණ කළ යුතු නැත. එය වැරදි වෛද්‍ය ව්‍යවහාරයකි. CT පරීක්ෂණ යනු ඉතා ඉහළ විකිරණ ප්‍රමාණයකට රෝගියා නිරාවරණය කෙරෙන පරීක්ෂණ වර්ගයකි. එය අත්‍යවශ්‍ය රෝගීනට පමණක් කළ යුතු ය. නිසි රෝගියා තෝරා ගැනීමට වෛද්‍යවරයාට සමත්කම තිබිය යුතු ම ය.

    ඇතැම් අවස්ථාවල හිසේ අභ්‍යන්තරයේ රුධිර වහනයක් නොමැති රොගීනට පවා කිරීටක ධමනි අවහිරතාවෙන් හට ගන්නා හෘදයාබාධවලට ප්‍රතිආතංචක (රුධිර කැටි ගැසීම වළක්වන) ප්‍රතිකාර දිමෙන් පසු හිස අභ්‍යන්තරයේ රුධිර වහනයක් සිදුවිය හැකි ය. මෙය කලාතුරනින් සිදුවන ප්‍රතිකාර සංකූලතාවකි. එය වෛද්‍යවරු සිතා මතා කරන අකටයුත්තක් නො වේ. හෘදයාබාධය නිසා මිය යන රෝගියා බේරා ගැනීමට කළ යුතු නිවැරදි ප්‍රතිකාරය, නිවැරදි ආකාරයෙන්, නිවැරදි රෝගියාට ම සිදු කරන විට ද පැන නැඟිය හැකි මෙවැනි අවාසනාවන්ත තත්ත්ව දෙස අපි අවබෝධයෙන් බැලිය යුතු ය.

    ඇතැම් භයානක හිසේ කැක්කුම්වලට හේතු වන හිස අභ්‍යන්තරයේ සිදුවන රුධිර වහන, නිදසුන් ලෙස: මොළය සහ හිස්කබල අතර ඇතුලතින් ඇති උපඇරැක්නොයිඩ අවකාශයට රුධිරය වහනය වීම්වල දී (subarachnoid haemorrhage -SAH) CT පරීක්ෂණය කරන අවස්ථාවේ දී (පමා වී නම්) රුධිර වහනයක් වී ඇති බවට CT පරීක්ෂණමූල සාධක නොපැවතිය හැකි ය. එවැනි අවස්ථාවල සායනික ඉතිහාසය ඉතා බැරූරුම් ද CT පරීක්ෂණයේ අවකාශ අදිවසන දෝෂ (ගෙඩි හෝ තරල එකතුවීම් ආදිය) නැති නම් ද වෙනත් බාධා නැති නම් ද කටී ප්‍රදේශය (කොන්ද) විද සුෂුම්නා තරලය ගෙන රුධිර වහනයක් සිදු ව ඇති ද යන්න සම්පරීක්ෂා කරන්නට ද සිදු වේ. එසේ කළ යුතු ද යන තීරණයට එළඹෙන්නට රෝගියාගේ සායනික ඉතිහාසය ඉතා වැදගත් ය. කිසියම් රෝගියකු තම හිසේ කැක්කුම තම ජීවිත කාලයේ අත්විඳි නරක ම හිසේ කැක්කුම බව ද එය ය⁣මකු තම හිසට මුඟුරකින් ගැසූ කලෙක මෙන් හෝ අකුණක් ගැසූ ලෙස හෝ එසැණ මතු වූ ඉතා දැඩි ව දැනුණු හිසේ කැක්කුමක් බව ද පවසයි නම් එම සායනික ඉතිහාසය කිසි සේත් නො සලකා හළ යුතු නැත. ඒ වූ කලී මොළය සහ හිස්කබල අතර ඇතුලතින් ඇති උපඇරැක්නොයිඩ අවකාශයට රුධිරය වහනය වීම්වල දී (subarachnoid haemorrhage -SAH) ඇති විය හැකි හිසේ කැක්කුමේ සුවිශේෂී ලාක්ෂණයකි. එවැනි රෝගීන් වැඩිදුර පරීක්ෂණ සඳහා යොමු කළ යුතු ය. ඇතැම් විට එලෙස මතු වූ රුධිර වහනය වීම් යම් කාලයකින් ශමනය විය හැකි වුවත් පරීක්ෂණ සිදු කළ යුතු ය. මක් නිසා ද පළමු ව ඇති වූ පෙර කී ආකාර හිසේ කැක්කුමක් දෙවනු ව ඇති විය හැකි මාරාන්තික රුධිර වහනයක පෙර දැනුම් දීමක් විය හැකි නිසා ය. අප එකී අග්‍රේසර හිසරදය (herald headache) නො සලකා හැරීම බුද්ධිගෝචර නො වේ.

    Cont…

    කැමතියි

  4. 3/3

    The Read Us සබඳ, ඔබ පවසන රෝගියාගේ මරණයට හේතුව හෝ එම රෝගියාට ප්‍රතිකාර කිරීමේ දී කුමක් සිදු වී ඇති ද යන්න මම නො දනිමි. එහෙත් යමක් සිදු ව ඇති බව පැහැදිලි ය. ඒ පිළිබඳ අදාළ වෛද්‍ය කණ්ඩායම තම මාසික ග්ලාන්‍ය සහ මර්ත්‍යතා සමුළුවල (The Monthly Morbidity and Mortality Meetings) දී විමසුම් කර යම් අතපසුවීම්, ලුහුඬුතා සිදු ව ඇති නම් ඒවා අනාගතයේ දී පුනර්කරණය වීම වළක්වා ගැනීමට නිසි කටයුතු සම්පාදනය කර ගත යුතු ම ය.

    ඉතා සංකීර්ණ සායනික රෝග තත්ත්වවල දී පවා හානිය අවම වන ලෙස තීන්දුතීරණ ගෙන ප්‍රතිකාර කිරීම සඳහා නිසි ක්‍රියාපටිපාටි, ක්‍රියෝපදේශනමාලා පවතී. කායික වෛද්‍යවරු පුහුණු කිරීමේ දී ඔවුනට සංකීර්ණ සායනික ගැටලු ප්‍රශස්ත ලෙස විසඳන ආකාරය මනා ව පුහුණු කෙරේ. යම් සංකීර්ණ ගැටලුවක් පිළිබඳ නිසි තීරණ ගැනීම කනිෂ්ඨ වෛද්‍යවරයකුට අපහසු විය හැකි වුව ද ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයකුට අපහසු වන්නේ නැත. ශික්ෂණ රෝහලකට ඇතුළු වන රෝගියකු ඇතුලත් කිරීමේ වෛද්‍ය නිලධාරියාගේ සිට ප්‍රාථමික/හදිසි ප්‍රතිකාර ඒකකයේ වෛද්‍යවරුන් ඔස්සේ වාට්ටුවේ සීමාවාසික නේවාසික වෛද්‍ය නිලධාරියා, ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍ය නිලධාරීන්, ‍ලේඛකාධිකාරීන්, ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරීන් සහ විශේෂඥ වෛද්‍යවරයා/වෛද්‍යවරු දක්වා ධුරාවලීය වෛද්‍ය පිරිසක් විසින් පරීක්ෂා කෙරේ. එසේ වන කල ද The Read Us සබඳ පවසන ආකාර සිදුවීම් සිදු වන්නේ නම් එය මහත් ඛේදනීය තත්ත්වයකි. සෑම මනුෂ්‍ය ජීවිතයක් ම මනුෂ්‍යයකු වීම නිසා ම එක හා සමාන ව වැදගත් ය. වෛද්‍ය විද්‍යාවේ සියලු අභිවර්ධනයන්ගේ ඒකායන අරමුණ ඒ සා වැදගත් සියලු මනුෂ්‍ය ජීවිත හැකි උපරිමයෙන් රැක ගැනීම ය.

    රජයේ වෛද්‍ය පීඨවලින් බිහි වූ වෛද්‍යවරුන්ගෙන් අකටයුතු සිදු වූ පමණින් එනිසා ම සයිටම් ආයතනය කිසිදු ප්‍රමිති යාමනයකින් තොර ව පවත්වන්නට අවසර දිය යුතු ය යි පැවසීම අඥානකමක් පමණක් නො ව බොර දියේ මාළු බෑමක් ද වන්නේ ය. සයිටම් ආයතනය හෝ වෙනත් පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපන ආයතනයක් නිසි ප්‍රමිතියක් සහිත ව පවත්වා ගෙන යාමට මගේ විරෝධයක් නැත. මම අසූව දශකයේ දී ද පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට විරුද්ධ නො වූයෙමි. පෞද්ගලික අංශය වෛද්‍ය අධ්‍යාපනයට දායක වීම ලෝක ව්‍යවහාරයකි. එයට විරුද්ධ විය යුතු නැත. ලංකාවට තවත් වෛද්‍යවරු විශාල සංඛ්‍යාවක් සෞඛ්‍ය සේවය සඳහා අවශ්‍ය ය. එහෙත් ආයෝජන මණ්ඩලය හරහා භාණ්ඩ නිෂ්පාදන ආයතන ආරම්භ කරන සේ වෛද්‍ය විද්‍යාල ආරම්භ කිරීම ගැටලුවකි. රජය කළ යුත්තේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පවත්වා ගෙන යාම ප්‍රතිපත්තියක් ලෙස පිළිගෙන ඒවා නිසි යාමනයකින් යුක්ත ව පවත්වාගෙන යාම ය. මූලික විද්‍යාවන් මෙන් ම ඉහළ සායනික පුහුණුවක් ද වෛද්‍ය ශිෂ්‍යයනට දීමට රජයේ සහය පෞද්ගලික අංශයට අවශ්‍ය ය. ලංකාවේ පෞද්ගලික අංශය තවමත් අවවර්ධිත, තැරැව්කාර, කොම්ස්කාර හොර රෑනක් බව මම අදටත් විශ්වාස කරමි. ඔවුනට සිත් සේ වෛද්‍ය අධ්‍යාපනය හසුරුවන්නට ඉඩ දිය යුතු ය යි පවසන්නෝ ලාංකීය අගයනට, ලාංකීය විද්වතුනට, ලාංකීය උසස් අධ්‍යාපන ආයතනවලට, ලාංකීය වෘත්තිකයනට ගරහන, අවමාන කරන, වෛර කරන සරලමතික කල්ලියේ වෘෂභයෝ ය. මා හිතවත් The Read Us සබඳ පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ දරන මතය මම අගයමි. “සයිටම් වැනි ආයතන රටට අවශ්‍යයි. එහෙත් ඒවායේ ගුණාත්මක බව රැකගෙන ක්‍රමවත් පාඨමාලාවක් ලබා දෙන බවට වන විශ්වසනීයත්වයක් තිබිය යුතු බව මගේ පිලි ගැනීමයි” යන The Read Us අස්ථානය සම්භාවනීය යි; විචක්ෂණ යි; මනෝබන්‍ධනීය යි.

    බන්‍ධුල කුදලාගම,
    සදම්ටනය.

    End.

    කැමතියි

    • කුදලාගම මැතිදුණි, ඔබගේ දීර්ග ප්‍රතිචාරයට හා මිඩංගු කල කාලයට ස්තුති.
      එම මිය ගිය තැනැත්තාගේ ඥාතීන් විසින් කල කී විස්තර අනුව මා මේ වියුනුවෙහි පළ කර ඇති සටහන ලියා ඇත්තෙමි. එහි සත්‍ය අසත්‍ය බව අප රජයේ රෝහලකට ගොස් වෛද්‍යවරයකු හා කතා කල විට ලැබෙන කටුක අත්දැකීම් වලින් මැන ගත හැකිය. එය සෑම වෛද්‍යවරයෙකුටම අදාල නොවේ. නමුත් බොහෝ වෛද්‍යවරුන් නොඉවසිලිමත් හා යම් කිසි පිඩනයකින් කටයුතු කරන ආකාරයත් එය එම රෝගීන් මතින් පිටකරන ආකාරයත් අපට දැක ගත හැකිය.

      ” ශික්ෂණ රෝහලකට ඇතුළු වන රෝගියකු ඇතුලත් කිරීමේ වෛද්‍ය නිලධාරියාගේ සිට ප්‍රාථමික/හදිසි ප්‍රතිකාර ඒකකයේ වෛද්‍යවරුන් ඔස්සේ වාට්ටුවේ සීමාවාසික නේවාසික වෛද්‍ය නිලධාරියා, ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍ය නිලධාරීන්, ‍ලේඛකාධිකාරීන්, ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරීන් සහ විශේෂඥ වෛද්‍යවරයා/වෛද්‍යවරු දක්වා ධුරාවලීය වෛද්‍ය පිරිසක් විසින් පරීක්ෂා කෙරේ.”

      ඔබතුමා ඉහත සදහන් කල කාරණය ඉතා වැදගත්ය. එය ප්‍රශස්ත අභ්‍යන්තර පාලන දුරාවලියකි. ඒ පිලිබදව මා දැන සිටියේ නැත. ඔබගේ කොමෙන්ටුවකින් වුවද මට ගැනීමට බොහෝ දේ පවතී.
      එම දුරාවලිය ඒ ආකාරයෙන්ම ප්‍රයෝගිකව ක්‍රියාත්මක වේ නම් එය රෝගීන්ට ඉතා සහනදායක වනු ඇත. එහි ප්‍රයෝගික තත්වය කුමක් දැයි පහදා දුන මැනවි.

      හිසේ කැක්කුම පිලිබදව ඔබගේ ප්‍රතිචාරය හුදු කොමෙන්ටුවකට සිමා නොවිය යුතු ය. එය ඉතා වැදගත් ලිපියකි. අනෙක් අයගෙත් දැන ගැනීම පිණිස මා එය ඔබගේ පූර්ව අවසරයකින් තොරව වියුනුවෙහි පල කරන්නේ ඔබ ඒ පිලිබදව මා හා අමනාප නොවෙන බව දන්නා නිසාය.

      Liked by 1 person

      • The Read Us සබඳ,

        ඉහත ආලෝචනය ලිපියක් ලෙස පළ කිරීම පිළිබඳ මම ඔබට ස්තුති කරමි. දැනුම යනු පෞද්ගලික හිමිකමක් නො ව පොදු හිමිකමකි. මා පෞද්ගලික ව සංචිත කර ගෙන ඇති දැනුම සඳහා එම දැනුම ඇති සහ නැති ලෝකවාසී සෑම පුද්ගලයකු ම අඩු වැඩි ලෙස ගෙවීම් කර ඇත. එනිසා මගේ කවර ලේඛනයක් වුව කවරකු විසින් හෝ උපුටා ගැනීම, පළ කිරීම ආදිය පිළිබඳ මගේ අමනාපයක් නැත.

        ඉහත ලිපියේ ප්‍රාථමික සහ ද්විතීක හිසේ කැක්කුම් පිළිබඳ සඳහන් ඡේද දෙක වටහා ගැනීම පහසු වීමට උදාහරණ කීපයක් සමඟ පමත ආකාරයට සකස් කරන මෙන් කාරුණික ව ඉල්ලා සිටිමි:

        //

        ඇතැම් හිසේ කැක්කුම් වෙනත් රෝගාබාධයකට හේතු ප්‍රකාර ව සම්බන්‍ධ නො වී ඇති වන හිසේ කැක්කුම් ය. ඒවා ප්‍රාථමික හිසේ කැක්කුම් නම් වේ. ප්‍රාථමික හිසේ කැක්කුම් බොහෝමයක් සැලකිය යුතු ග්ලාන්‍යයකින් (රෝගාතුර භාවයකින්) යුක්ත ව සාමාන්‍ය දිවි පෙවෙතට බාධා කරයි. ප්‍රාථමික හිසේ කැක්කුම් කීපයක් මෙසේ ය:

        පීඩනයක/තදවීමක ආකාරයේ හිසේ කැක්කුම (tension-type headache)

        ඉරුවාරදය (migraine)

        සමූහයක් ලෙස කලින් කල ඇති වන හිසේ කැක්කුම (cluster headache)

        හිසේ සහ මුහුණේ එක පැත්තක පමණක් වරින් වර ඇති වන තීව්‍ර හිසේ කැක්කුම හෙවත් පාරාශිතීය අර්ධකපාල හිසරදය (paroxysmal hemicrania)

        ඇතැම් හිසේ කැක්කුම් වෙනත් රෝගාබාධයකට හේතු ප්‍රකාර ව සම්බන්‍ධ වී ඇති වන හිසේ කැක්කුම් ය. ඒවා ද්විතීක හිසේ කැක්කුම් නම් වේ. ද්විතීයීක හිසේ කැක්කුම් බොහෝමයක් සැලකිය යුතු මර්ත්‍යතාවකින් (මාරාන්තික භාවයකින්) යුක්ත ව රෝගියාගේ ජීවිතයේ පැවැත්මට බාධා කරයි. ද්විතීයීක හිසේ කැක්කුම් කීපයක් මෙසේ ය:

        ආසාධන නිසා ඇති වන හිසේ කැක්කුම (headache secondary to systemic infections)

        හිසට සිදුවන අනතුරු නිසා වන හිසේ කැක්කුම (headache secondary to head injury)

        රුධිර වාහිනීවල අසාමාන්‍යතා නිසා ඇති වන හිසේ කැක්කුම (vascular headache)

        මොළය සහ හිස්කබල අතර ඇතුලතින් ඇති උපඇරැක්නොයිඩ අවකාශයට රුධිරය වහනය වීම නිසා ඇති වන හිසේ කැක්කුම (headache secondary to subarachnoid haemorrhage)

        මොළයේ ගෙඩි (පිළිකා හෝ පිළිකා නො වන) නිසා ඇති වන හිසේ කැක්කුම (headache secondary to brain tumours)

        //

        බන්‍ධුල කුදලාගම,
        සදම්ටනය.

        කැමතියි

      • The Read Us සබඳ,

        මතු දැක්වෙන ක්‍රියාවලිය දෛනික ව, අනිවාර්යයෙන් ම සෑම ශික්ෂණ රෝහලක ම සිදු වේ. අනෙක් ප්‍රධාන රෝහල්වල ද ඇතැම් අතරමැදි පියවර රහිත ව එම ක්‍රියාවලිය දෛනික ව, අනිවාර්යයෙන් ම

        “ශික්ෂණ රෝහලකට ඇතුළු වන රෝගියකු ඇතුලත් කිරීමේ වෛද්‍ය නිලධාරියාගේ සිට ප්‍රාථමික/හදිසි ප්‍රතිකාර ඒකකයේ වෛද්‍යවරුන් ඔස්සේ වාට්ටුවේ සීමාවාසික නේවාසික වෛද්‍ය නිලධාරියා, ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍ය නිලධාරීන්, ලේඛකාධිකාරීන්, ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරීන් සහ විශේෂඥ වෛද්‍යවරයා/වෛද්‍යවරු දක්වා ධුරාවලීය වෛද්‍ය පිරිසක් විසින් පරීක්ෂා කෙරේ.”

        එය සිදු වන්නේ මෙසේ ය:

        කිසියම් රෝගියකු රෝහලට ඇතුලු වූ විට ඇතුලත් කිරීමේ වෛද්‍ය නිලධාරියා විසින් එම රෝගියා මූලික පරීක්ෂාවකට ලක් කෙරේ. එම පරීක්ෂාවේ අරමුණ රෝගියා හදිසි/ප්‍රාථමික ප්‍රතිකාර ඒකකයට ඇතුලත් කළ යුතු ද නැත හොත් වාට්ටුවකට එක වර ඇතුලත් කරන්නට හැකි තත්ත්වයක සිටී ද එසේ නම් ඇතුලත් කළ යුතු වාට්ටුව කුමක් ද යන්න නිර්ණය කිරීම ය.

        වාට්ටුවකට එක වර ඇතුලත් කිරීමට නුසුදුසු තත්ත්වයක සිටින රෝගීන් ප්‍රාථමික ප්‍රතිකාර ඒකකයකට හෝ හදිසි ප්‍රතිකාර ඒකකයකට හෝ ඇතුලත් කෙරේ. එහි දී රෝගියාගේ ජීවිතයට හානියක් විය හැකි හදිසි තත්ත්වයනට අවධානය යොමු කෙරේ. එය රෝහලක ඇති ඉතා කාර්යබහුල ඒකකයකි. හදිසි රෝග තත්ත්ව සඳහා මූලික ප්‍රතිකාර කිරීමේ දී විවිධ විශේෂ වෛද්‍ය කණ්ඩායම්වල සහය ලබා ගැනීම ⁣මෙම ඒකකයේ දී සිදු වේ. අදාළ ක්ෂේත්‍රවල ලේඛකාධිකාරීන් හෝ ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍යවරු එම ඒකකය වෙත අවශ්‍ය අවස්ථාවල දී එම ඒකකයේ වෛද්‍යවරු විසින් කැඳවනු ලැබේ. එසේ ප්‍රතිකාර කර ස්ථාවර තත්ත්වයට පත් කරන ලද රෝගීහු අදාළ වාට්ටු කරා ගෙන යනු ලැබති.

        මෙලෙස ප්‍රාථමික/මූලික ප්‍රතිකාර ඒකකය හරහා හෝ සෘජු ව හෝ වාට්ටුවකට ඇතුලත් කරනු ලබන රෝගීහු ⁣සීමාවාසික වෛද්‍යවරයකු විසින් පරීක්ෂා කර, කළ යුතු මූලික පරීක්ෂණ සහ ප්‍රතිකාර නිර්ණය කෙරේ. අවශ්‍ය මොහොතක ලේඛකාධිකාරීගෙන් හෝ ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍ය නිලධාරියාගෙන් හෝ රෝගියා සඳහා කළ යුතු දේ පිළිබඳ විමසුම් කිරීමට ⁣සීමාවාසික වෛද්‍ය නිලධාරියාට හැකි ය.

        (උපවිශේෂ වෛද්‍ය ඒකකවල සීමාවසික වෛද්‍ය නිලධාරීහු නැත. එම වාට්ටුවල මූලික කටයුතු වෛද්‍ය නිලධාරීන් විසින් සිදු වේ)

        ලේඛකාධිකාරීවරයකු හෝ ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍ය නිලධාරියකු හෝ විසින් සෑම රෝගියකු ම පරීක්ෂා කරනු ලැබිය යුතු ය. විශේෂි වූ පරීක්ෂණ සහ ප්‍රතිකාර නිර්ණය කෙරෙන්නේ එම පියවරේ දී ය. සංකීර්ණ ගැටලු සහගත අවස්ථාවල දී ලේඛකාධිකාරීට හෝ ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍ය නිලධාරියාට ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරී හෝ විශේෂඥ වෛද්‍යවරයා හෝ සමඟ සාකච්ඡා කළ හැකි ය.

        මෙසේ පරීක්ෂාවට සහ ප්‍රතිකාරයට ලක් වන රෝගීන් පසු දින ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරී සහ විශේෂඥ වෛද්‍යවරයා විසින් පරීක්ෂා කෙරේ. එය ඉතා වැදගත් අවස්ථාවකි. ඒ මොහොත වන විට වෛද්‍ය කණ්ඩායමේ අනෙකුත් සාමාජිකයන් තම කාර්ය මනා ව ඉටු කර තිබීම වැදගත් ය. ඉතා බැරෑරම් පරීක්ෂණ සහ ප්‍රතිකාර පිළිබඳ තීරණ ගනු ලබන්නේ විශේෂඥ වෛද්‍ය පරීක්ෂාවේ දී ය.

        ධුරාවලියේ ඒ ඒ ශ්‍රෙණියේ දී ඒ ඒ වෛද්‍යවරයා කළ යුතු කාර්යය නිසි ලෙස ඉටු වී නැති නම් විශේෂඥ වෛද්‍යවරයාට තමාගේ කාර්ය කිරීමට පෙර සෙසු වෛද්‍යවරුන්ගේ කාර්ය කිරීමට සිදු වේ. සීමාවාසික වෛද්‍යවරයා නිසි ලෙස රෝග ඉතිහාසය විශ්ලේෂණය කර නැති නම්, ලේඛකාධිවරයා හෝ ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍යවරයා හෝ නිසි ලෙස රෝගියාගේ සායනික ගැටලු විශ්ලේෂණය කර නැති නම් එම කාර්ය ද විශේෂඥ වෛද්‍යවරයාට ම කරන්නට සිදු වේ. එය වාට්ටුවේ සියලු කටයුතු අකාර්යක්ෂම කිරීමකි. තමා යටතේ පුහුණු වන සහ සේවය කරන වෛද්‍යවරුන්⁣ තම කාර්ය නිවැරදි ව කාර්යක්ෂම ව සිදු කරන්නේ ද යන්න නිරන්තර ව සොයා බැලීම සහ ඔවුන් පුහුණු කිරීම විශේෂඥ වෛද්‍යවරයාගේ වගකීමකි. දැඩි විනයක් සහිත විශේෂඥ වෛද්‍යවරුන්ගේ ඒකකවල සේවය කරන කනිෂ්ඨ වෛද්‍යවරුනට නම් තම කටයුතු නිසි ලෙස ඉටු නො කර වැඩි කලක් එම ඒකකවල රැඳිය නොහැකි ය. එය එසේ විය යුතු ම ය.

        ශික්ෂණ රෝහල්වල ඇති මහාචාර්ය ඒකකවල (වෛද්‍ය පීඨවලට අනුයුක්ත) පුරුෂ රෝගීන්ගේ වාට්ටුව සහ ස්ත්‍රී රෝගීන්ගේ වාට්ටු වෙන වෙන ම පරීක්ෂා කිරීමට සෑම දිනක ම විශේෂඥ වෛද්‍යවරු දෙදෙනක් සිටිති. අනෙක් බොහෝ වාට්ටුවල එක ම විශේෂඥ වෛද්‍යවරයා වාට්ටු දෙක ම පරීක්ෂා කළ යුතු ය. රෝගීන් සංඛ්‍යාව ඉතා ඉහළ දිනවල විශේෂඥ වෛද්‍යවරයා එක් වාට්ටුවක් සම්පූර්ණයෙන් පරීක්ෂා කර අනෙක් වාට්ටුවේ අවධානය යොමු විය යුතු අසාධ්‍ය රෝගීන් පමණක් පරීක්ෂා කරයි. සියලු රෝගීහු අනෙකුත් වෛද්‍යවරුන් විසින් පරීක්ෂා කෙරෙති. එමඟින් විශේෂඥ වෛද්‍යවරයාට එදින ම යොමු කළ යුතු රෝගීහු හඳුනා ගැනෙති. එවැනි දිනවලින් පසු දින රෝගී පරීක්ෂාව ඇරඹෙන්නේ ම පෙර දින සම්පූර්ණයෙන් පරීක්ෂා කරන්නට නොහැකි වූ වාට්ටුවෙන් ය.

        තමන්ගේ විශේෂ ක්ෂේත්‍රයට අදාළ වෙනත් වාට්ටුවල සහ දැඩි සත්කාර ඒකකවල සිටින රෝගීහු ද විශේෂඥ වෛද්‍යවරයා සහ එම කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨයන් විසින් පරීක්ෂා කරනු ලබති.

        මීට අමතර ව වාට්ටුවට අදාළ සායන දෙකක්වත් සෑම සතියක ම පැවැත් වේ. ප්‍රතිකාර ලබා වාට්ටුවෙන් පිට ව ගිය දිගු කාලීන ව පසුවිපරම් කළ යුතු රෝගීහු එම සායනවල දී පරීක්ෂා කෙරෙති. එම සායන ද ඉතා කාර්යබහුල ස්ථාන ය.

        එලෙස ම වෛද්‍ය ශිෂ්‍යයනට සහ පුහුණු වන වෛද්‍යවරුනට ඉගැන්වීම ද විශේෂඥ වෛද්‍යවරයා සහ එම කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨයන් විසින් කරනු ලැබිය යුතු ය.

        සීමාවාසික නිලධාරියකු ලෙස සෞඛ්‍ය සේවයට එක් වන තරුණ වෛද්‍යවරයකු ඉහළට ඉගෙන සායනික විශේෂඥ වෛද්‍යවරයකු බවට පත් ව සේවයෙන් විශ්‍රාම ගන්නා දිනය තෙක් ඔහුගේ/ඇයගේ ජීවිතය ගෙවෙන්නේ ඉහත ධුරාවලියේ විවිධ ශ්‍රේණිවල ඉතා කාර්යබහුල දිවියක් ගෙවමිනි. එසේ වැඩ කළ නොහැකි කිසිවකු සායනික වෛද්‍යවරයකු වීමට සිතීමවත් ⁣නුසුදුසු බව මම සිතමි.

        ලංකාවේ එක් වෛද්‍යවරයකු වෙත යොමු වන රෝගීන් සංඛ්‍යාව ඉතා වැඩි ය. එය විශාල ගැටලුවකි. මනා ලෙස පුහුණු කරන ලද යහපක් වෘත්තීය ආකල්ප ඇති වෛද්‍යවරු විශාල සංඛ්‍යාවක් සෞඛ්‍ය ක්ෂේත්‍රයට එක් කර ගත යුතු ම ය. එය වෛද්‍ය ක්ෂේත්‍රයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට ද වැදගත් වේ.

        සායනික වාට්ටුවල රාජකාරී කරන වෛද්‍යවරුන් කිසිදු වැඩන් නො කර වැටුප් ලබන බව පැවසීම කරුණ නොදැන කරන වල්පල් දෙඩවීමකි. සෑම වෛද්‍යවරයකු ම පෞද්ගලික සේවයේ යෙදෙන්නේ නැති බව අප අමතක කළ යුතු නැත. පෞද්ගලික සේවයේ යෙදෙන වෛද්‍යවරුන් විසින් පරීක්ෂා කෙරෙන බොහෝ රෝගීහු ද අවසානෙයේ දී වැඩි වශයෙන් රජයේ රෝහල්වල වෛද්‍යවරු වෙත ම යොමු කරනු ලබති.

        දහසක් ලුහුඬුකම් මධ්‍යයේ වුව ද ලංකාවේ රජයේ රෝහල්වල කටයුතු අගය කළ යුතු ම ය. පෞද්ගලික අංශයේ කෙරෙන වැඩ පිළිබඳ මම කිසිවක් නො ලියමි. ඒ තරම් ම අප්‍රසන්න නිසා ය.

        අවසාන වශයෙන් පැවසිය හැකි වන්නේ උසස් වෛද්‍ය සේවා සැපයීම කණ්ඩායම් වගකීමක් බව ය. කිසියම් ඒකකයක නිල වගකීම එහි විශේෂඥ වෛද්‍යවරයා විසින් දරනු ලැබු ව ද එම ඒකකයේ නිසි ක්‍රියාකාරීත්වයට වෛද්‍ය, හෙද සහ උපකාරක සේවා සාමාජිකයන් සියල්ලන්ගේ ම කැපවීම අනිවාර්ය වේ. එක් අයකුගේ අකාර්යක්ෂමතාව කීප ගුණයකින් වැඩි වී සමස්ත ඒකකයේ ආකාර්යක්ෂමතාව බවට පත් විය හැකි ය.

        ලුහුඬුකම් සකසා ගෙන ඉදිරියට ද සෞඛ්‍ය සේවය පවත්වා ගන්නට නිර්මාණාත්මක විවේචන අවශ්‍ය ම වේ. එංගලන්තයේ ජාතික සෞඛ්‍ය සේවයේ සේවයේ යෙදෙන වෛද්‍යවරුනට එරෙහි ව නිරන්තර ව පැමිණිලි ලැබේ. ඔවුන් එම පැමිණිලි සලකනුයේ සේවා තත්ත්වය අභිවර්ධනයට කෙරෙන වැදගත් මැදිහත් වීම් ලෙස ය. රටක සෞඛ්‍ය සේවය යනු රෝගියා කෙන්ද්‍ර කර ගත් කාර්යාවලියකි. එනිසා සෞඛ්‍ය සේවය පිළිබද රෝගීන්ගේ සිතුම්පැතුම් අප විසින් ගෞරවයෙන් අවධාරණයට ගනු ලැබිය යුතු ය.

        The Read Us සබඳ, ලංකාවේ සෞඛ්‍ය සේවය කෙසේ සකස් විය යුතු ද යන්න තීරණය කිරීමේ දී රටවැසියන්ගේ නිර්මාණාත්මක විවේචන අතිශය වැදගත් ය. ඔබ එම මාහැඟි කාර්යය කරන රටවැසියකු බව මම නිසැක ව ම විශ්වාස කරමි.

        බන්‍ධුල කුදලාගම,
        සදම්ටනය.

        කැමතියි

        • ගරු බන්‍ධුල කුදලාගම මැතිතුමනි,

          හිසේ කැක්කුම් ගැන ඔබ තුමා මෙහි ලියූ ඉතාම වටිනා ආලෝචනය හා වෛද්ය පරීක්ශා හා ප්‍රතිකාර ධුරාවලිය ගැන වූ ආලෝචන කිහිපය ම එක් කොට වෙනම වියුනුවක් දෙකක් ලෙස පල කරනා මෙන් ඔබගෙන් කාරුනිකව ඉල්ලා සිටිමි.

          කැමතියි

  5. මැතිතුමනි, හිසේ කැක්කුම් ගැන ඔබ තුමා මෙහි ලියූ ඉතාම වටිනා ආලෝචනය හා වෛද්ය පරීක්ශා හා ප්‍රතිකාර ධුරාවලිය ගැන වූ ආලෝචන කිහිපය ම එක් කොට වෙනම වියුනුවක් දෙකක් ලෙස පල කරනා මෙන් ඔබගෙන් කාරුනිකව ඉල්ලා සිටිමි.

    කැමතියි

  6. පින්ග්කිරීම: සායනික වෛද්‍ය විද්‍යාව, හිසේ කැක්කුම්, රාජ්‍ය වෛද්‍ය සේවය සහ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිළිබඳ කත

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )