හිසේ කැක්කුම ගැන ඔබ නොදත් දේ.

මේ ලිපිය බන්දුල කුදලාගම මැතිදුන් විසින් කොමෙන්ටුවක් වශයෙන් පළ කරන ලද්දකි. එහි සම්පුර්ණ අයිතිය එතුමා සතුය. එතුමාගේ පූර්ව අවසරයකින් තොරව  උපුටා ගත්තක් වන මෙය හුදී පාඨකයන්ට කියවා දැනුවත් විය හැකි ලියවිල්ලක් වන නිසා නැවත පළ කරමි.

හිසේ කැක්කුම යනු අතිශය වැදගත් රෝග ලක්ෂණයකි. හිසේ කැක්කුම සඳහා වෛද්‍යවරයකු වෙත පැමිණෙන රෝගියකුගේ සායනික විස්තරය එම රොගියාගේ වෛද්‍ය විද්‍යාත්මක ගැටලු විසඳීමේ දී තීරණාත්මක ය.

හිසේ කැක්කුම විවිධ හේතු නිසා ඇති විය හැකි ය. එය කිසියම් මානසික පීඩාවක් වැනි හේතුවක සිට හිසේ/මොළයේ අභ්‍යන්තරයේ රුධිර ගැලීමක් දක්වා වූ විවිධ හේතු නිසා ඇති විය හැකි ය. එනිසා හිසේ කැක්කුම විවිධාකාර ය.

ඇතැම් හිසේ කැක්කුම් වෙනත් රෝගාබාධයකට හේතු ප්‍රකාර ව සම්බන්‍ධ නො වී ඇති වන හිසේ කැක්කුම් ය. ඒවා ප්‍රාථමික හිසේ කැක්කුම් නම් වේ. ප්‍රාථමික හිසේ කැක්කුම් බොහෝමයක් සැලකිය යුතු ග්ලාන්‍යයකින් (රෝගාතුර භාවයකින්) යුක්ත ව සාමාන්‍ය දිවි පෙවෙතට බාධා කරයි. ප්‍රාථමික හිසේ කැක්කුම් කීපයක් මෙසේ ය:

පීඩනයක/තදවීමක ආකාරයේ හිසේ කැක්කුම (tension-type headache)

ඉරුවාරදය (migraine)

සමූහයක් ලෙස කලින් කල ඇති වන හිසේ කැක්කුම (cluster headache)

හිසේ සහ මුහුණේ එක පැත්තක පමණක් වරින් වර ඇති වන තීව්‍ර හිසේ කැක්කුම හෙවත් පාරාශිතීය අර්ධකපාල හිසරදය (paroxysmal hemicrania)

ඇතැම් හිසේ කැක්කුම් වෙනත් රෝගාබාධයකට හේතු ප්‍රකාර ව සම්බන්‍ධ වී ඇති වන හිසේ කැක්කුම් ය. ඒවා ද්විතීක හිසේ කැක්කුම් නම් වේ. ද්විතීයීක හිසේ කැක්කුම් බොහෝමයක් සැලකිය යුතු මර්ත්‍යතාවකින් (මාරාන්තික භාවයකින්) යුක්ත ව රෝගියාගේ ජීවිතයේ පැවැත්මට බාධා කරයි. ද්විතීයීක හිසේ කැක්කුම් කීපයක් මෙසේ ය:

ආසාධන නිසා ඇති වන හිසේ කැක්කුම (headache secondary to systemic infections)

හිසට සිදුවන අනතුරු නිසා වන හිසේ කැක්කුම (headache secondary to head injury)

රුධිර වාහිනීවල අසාමාන්‍යතා නිසා ඇති වන හිසේ කැක්කුම (vascular headache)

මොළය සහ හිස්කබල අතර ඇතුලතින් ඇති උපඇරැක්නොයිඩ අවකාශයට රුධිරය වහනය වීම නිසා ඇති වන හිසේ කැක්කුම (headache secondary to subarachnoid haemorrhage)

මොළයේ ගෙඩි (පිළිකා හෝ පිළිකා නො වන) නිසා ඇති වන හිසේ කැක්කුම (headache secondary to brain tumours)

බොහෝමයක් සුලබ හිසේ කැක්කුම් මාරාන්තික නො වේ. එසේ වුව ද දුලබ මාරාන්තික හිසේ කැක්කුම් අප විසින් නො සලකා හළ යුතු නැත. රොගියකුගේ හිසේ කැක්කුමක් ඇගයීමේ දී එකී හිසේ කැක්කුම ඔහුගේ ජීවිතයට හානිදායක හිසේ කැක්කුමක් වන්නේ ද එසේ නොවන්නේ ද යන්න සායනික වෛද්‍යවරයා විසින් අනිවාර්යයෙන් ම නිර්ණය කළ යුතු ය. පීඩනයක/තෙරපුමක ආකාරයේ හිසේ කැක්කුම් හෝ ඉරුවාරදය හෝ සුලබ මාරාන්තික නො වන හිසේ කැක්කුම් වුව ද සෑම හිසේ කැක්කුමක් ම එකී මාරාන්තික නො වන හිසේ කැක්කුම් ලෙස සලකා ⁣නොවිමසිලිමත් ව කටයුතු කිරීම අඥානකමකි.

කිසියම් රෝගියකුගේ හිසේ කැක්කුම,

තම ජීවිත කාලයේ අත්විඳි නරක ම හිසේ කැක්කුම ය යි ඔහු/ඇය පවසයි නම් හෝ

එසැණ මතු ව එසැණින් (තත්ත්පර හෝ මිනිත්තු හෝ කීපයක් ඇතුලත) ඉතා තීව්‍ර වේදනාවක් බවට පත් වූයේ ය යි ඔහු/ඇය පවසයි නම් හෝ

මඳ පීඩාවකින් හෝ දැඩි ව්‍යායාමයනින් හෝ කැස්සකින් හෝ යම් බරක් එසවීමෙන් ⁣හෝ පසු ව හට ගනී ය යි ඔහු/ඇය පවසයි නම් හෝ

ඉහළ තීව්‍රතාවකින් යුක්ත ව උණ සහ ගෙල ප්‍රදේශයේ මාංශ පේශීවල තද ගතියක් සමඟ පවතී යයි ඔහු/ඇය පවසයි නම් හෝ

තීව්‍ර ලෙස ඇති වී ඒ සමඟ වික්ෂිප්තභාවයට පත්වීමක්, චර්යාව වෙනස්වීමක්, වලිප්පුව සෑදීමක් ආදී රෝගලක්ෂණ සමඟ පවතී නම් හෝ

අභිනවයෙන් හට ගන්නේ ශරීරයේ යම් අංගයක දුර්වලතාවක්, හිරිවැටීමක් හෝ ⁣දෘෂ්ටියේ බාධාවක් සමඟ සම්බන්‍ධ ව නම් හෝ

එම හිසේ කැක්කුම ඉතා බැරෑරුම් ලෙස සැලකිය යුතු ම ය. ඉහත කරුණුවලට අමතර ව යම් පුද්ගලයකුගේ,

පළමු වැනි තීව්‍ර හිසේ කැක්කුම,

වයස අවුරුදු 55 කට පමණ වැඩි වියේ දී හට ගන්නා හිසේ කැක්කුම,

හිසේ යම් නිශ්චිත ප්‍රදේශයක් ස්පර්ශ කළ විට වේදනාව දැ⁣නීමක් සහිත ව හට ගන්නා හිසේ කැක්කුම,

නින්දට බාධා ඇති වී නින්දෙන් අවධි වන විට තීව්‍ර ලෙස පවතින හිසේ කැක්කුම

ආදිය ද දැඩි අවධානයට ලක් විය යුතු හිසේ කැක්කුම් ය. මක් නිසා ද යත් එවැනි හිසේ කැක්කුම් දරුණු/මරාන්තික රෝග තත්ත්වයන් සමඟ බැඳී තිබිය හැකි නිසා ය.

මෙහි දී මම තවත් කරුණක් පවසනු රිසියෙමි. හිසේ අභ්‍යන්තරයේ රුධිර වහනක් සිදුවීම නිසා හට ගන්නා ඉතා භායානක හිසේ කැක්කුම්වල දී ඛන්තු රේඛන සටහනේ (Electrocardiogram – ECG) කිරීටක ධමනි අවහිරතාව නිසා හෝ හෘදයේ ස්පන්දනය අක්‍රමිකතා නිසා හෝ ඇති විය හැකි ආකාරයේ වෙනස්කම් ද නිරීක්ෂණය කළ හැකි ය. මෙවැනි සංකීර්ණ අවස්ථාවන් කළමනාකරණයේ දී මනා දැනුමක් ද සායනික කුසලතාවක් ද අත්දැකීම් ද අවශ්‍ය ය. සායනික වෛද්‍යවරුන් එම ගුණාංග සම්මත ලෙස ප්‍රගුණ කර තිබිය යුතු ය.

යම් ලෙසකින් දැඩි හිසේ කැක්කුමක් සහිත ⁣රෝගියකු කිරීටක ධමනි අවහිරතාවකින් හෘදයාබාධ තත්ත්වයක් (සත්‍ය ලෙස ම) හට ගෙන ඇති ලෙස සලකා කටයුතු කිරීම විමසිලිමත් ව කළ යුතු දෙයකි. මක් නිසා ද ඇතැම් විට එම රෝගියාට දෙනු ලබන ප්‍රතිකාර නිවැරදි ව රුධිර කැටි ගැසීම අඩු කරන හෝ සෑදුණු රුධිර කැටි දිය කර හරින හෝ ඖෂධ වන නිසාත්, යම් හෙයකින් දැඩි හිසේ කැක්කුමට හේතුව හිසේ අභ්‍යයන්තරයේ රුධිර වහනයක් වී තිබුණේ නම් එම තත්ත්වය පෙර කී ප්‍රතිකාර මගින් ඉතා දුස්සාධ්‍ය තත්ත්වයකට පත් විය හැකි නිසාත් ය. අප වටහා ගත යුතු වැදගත් කරුණක් නම් යම් හිසේ කැක්කුමක් තිබූ පමණින් ම හෘදයාබාධ තත්ත්වයකට ප්‍රතිකාර නො කර සිටිය යුතු නැති බව ය. ඇතැම් හෘදයාබාධ ඇතැම් රොගීනට කිසිදු හෘද වේදනාවක් නොමැති ව ද හට ගත හැකි බව සිහි තබා ගත යුතු ය. එසේ නම් සැලකිය යුතු ආකාරයේ හිසේ කැක්කුමක් ඇති අවස්ථාවක දී ම ප්‍රතිආතංචක (රුධිර කැටි ගැසීම වළක්වන) ප්‍රතිකාර දිය යුතු රෝග තත්ත්වයක් ද පවතී නම් වඩා සුදුසු සම්මත ක්‍රමය CT පරීක්ෂණයක් සිදු කර හිස අභ්‍යන්තරයේ රුධිර වහනයක් තිබේ ද නොතිබේ ද යන්න නිෂ්චිත කර ගැනීම ය. හිසේ කැක්කුම පිළිබඳ රෝගියාගේ දුක්ගැනවිල්ල නො සලකා හැර කටයුතු කළ හොත් මෙවැනි කරුණු පිළිබද අවධානය යොමු නො වේ. වෛද්‍යවරු රෝගියාට මනා ව සවන් දීමට පුරුදු විය යුත්තේ එනිසා ය.

මම තවත් කරුණු කීපයක් පවසමි:

හිසේ කැක්කුම සඳහා ප්‍රතිකාරයට පැමිණෙන සියලු රොගීනට CT පරීක්ෂණ කළ යුතු නැත. එය වැරදි වෛද්‍ය ව්‍යවහාරයකි. CT පරීක්ෂණ යනු ඉතා ඉහළ විකිරණ ප්‍රමාණයකට රෝගියා නිරාවරණය කෙරෙන පරීක්ෂණ වර්ගයකි. එය අත්‍යවශ්‍ය රෝගීනට පමණක් කළ යුතු ය. නිසි රෝගියා තෝරා ගැනීමට වෛද්‍යවරයාට සමත්කම තිබිය යුතු ම ය.

ඇතැම් අවස්ථාවල හිසේ අභ්‍යන්තරයේ රුධිර වහනයක් නොමැති රොගීනට පවා කිරීටක ධමනි අවහිරතාවෙන් හට ගන්නා හෘදයාබාධවලට ප්‍රතිආතංචක (රුධිර කැටි ගැසීම වළක්වන) ප්‍රතිකාර දිමෙන් පසු හිස අභ්‍යන්තරයේ රුධිර වහනයක් සිදුවිය හැකි ය. මෙය කලාතුරනින් සිදුවන ප්‍රතිකාර සංකූලතාවකි. එය වෛද්‍යවරු සිතා මතා කරන අකටයුත්තක් නො වේ. හෘදයාබාධය නිසා මිය යන රෝගියා බේරා ගැනීමට කළ යුතු නිවැරදි ප්‍රතිකාරය, නිවැරදි ආකාරයෙන්, නිවැරදි රෝගියාට ම සිදු කරන විට ද පැන නැඟිය හැකි මෙවැනි අවාසනාවන්ත තත්ත්ව දෙස අපි අවබෝධයෙන් බැලිය යුතු ය.

ඇතැම් භයානක හිසේ කැක්කුම්වලට හේතු වන හිස අභ්‍යන්තරයේ සිදුවන රුධිර වහන, නිදසුන් ලෙස: මොළය සහ හිස්කබල අතර ඇතුලතින් ඇති උපඇරැක්නොයිඩ අවකාශයට රුධිරය වහනය වීම්වල දී (subarachnoid haemorrhage -SAH) CT පරීක්ෂණය කරන අවස්ථාවේ දී (පමා වී නම්) රුධිර වහනයක් වී ඇති බවට CT පරීක්ෂණමූල සාධක නොපැවතිය හැකි ය. එවැනි අවස්ථාවල සායනික ඉතිහාසය ඉතා බැරූරුම් ද CT පරීක්ෂණයේ අවකාශ අදිවසන දෝෂ (ගෙඩි හෝ තරල එකතුවීම් ආදිය) නැති නම් ද වෙනත් බාධා නැති නම් ද කටී ප්‍රදේශය (කොන්ද) විද සුෂුම්නා තරලය ගෙන රුධිර වහනයක් සිදු ව ඇති ද යන්න සම්පරීක්ෂා කරන්නට ද සිදු වේ. එසේ කළ යුතු ද යන තීරණයට එළඹෙන්නට රෝගියාගේ සායනික ඉතිහාසය ඉතා වැදගත් ය. කිසියම් රෝගියකු තම හිසේ කැක්කුම තම ජීවිත කාලයේ අත්විඳි නරක ම හිසේ කැක්කුම බව ද එය ය⁣මකු තම හිසට මුඟුරකින් ගැසූ කලෙක මෙන් හෝ අකුණක් ගැසූ ලෙස හෝ එසැණ මතු වූ ඉතා දැඩි ව දැනුණු හිසේ කැක්කුමක් බව ද පවසයි නම් එම සායනික ඉතිහාසය කිසි සේත් නො සලකා හළ යුතු නැත. ඒ වූ කලී මොළය සහ හිස්කබල අතර ඇතුලතින් ඇති උපඇරැක්නොයිඩ අවකාශයට රුධිරය වහනය වීම්වල දී (subarachnoid haemorrhage -SAH) ඇති විය හැකි හිසේ කැක්කුමේ සුවිශේෂී ලාක්ෂණයකි. එවැනි රෝගීන් වැඩිදුර පරීක්ෂණ සඳහා යොමු කළ යුතු ය. ඇතැම් විට එලෙස මතු වූ රුධිර වහනය වීම් යම් කාලයකින් ශමනය විය හැකි වුවත් පරීක්ෂණ සිදු කළ යුතු ය. මක් නිසා ද පළමු ව ඇති වූ පෙර කී ආකාර හිසේ කැක්කුමක් දෙවනු ව ඇති විය හැකි මාරාන්තික රුධිර වහනයක පෙර දැනුම් දීමක් විය හැකි නිසා ය. අප එකී අග්‍රේසර හිසරදය (herald headache) නො සලකා හැරීම බුද්ධිගෝචර නො වේ.

ඉතා සංකීර්ණ සායනික රෝග තත්ත්වවල දී පවා හානිය අවම වන ලෙස තීන්දුතීරණ ගෙන ප්‍රතිකාර කිරීම සඳහා නිසි ක්‍රියාපටිපාටි, ක්‍රියෝපදේශනමාලා පවතී. කායික වෛද්‍යවරු පුහුණු කිරීමේ දී ඔවුනට සංකීර්ණ සායනික ගැටලු ප්‍රශස්ත ලෙස විසඳන ආකාරය මනා ව පුහුණු කෙරේ. යම් සංකීර්ණ ගැටලුවක් පිළිබඳ නිසි තීරණ ගැනීම කනිෂ්ඨ වෛද්‍යවරයකුට අපහසු විය හැකි වුව ද ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයකුට අපහසු වන්නේ නැත. ශික්ෂණ රෝහලකට ඇතුළු වන රෝගියකු ඇතුලත් කිරීමේ වෛද්‍ය නිලධාරියාගේ සිට ප්‍රාථමික/හදිසි ප්‍රතිකාර ඒකකයේ වෛද්‍යවරුන් ඔස්සේ වාට්ටුවේ සීමාවාසික නේවාසික වෛද්‍ය නිලධාරියා, ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍ය නිලධාරීන්, ‍ලේඛකාධිකාරීන්, ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරීන් සහ විශේෂඥ වෛද්‍යවරයා/වෛද්‍යවරු දක්වා ධුරාවලීය වෛද්‍ය පිරිසක් විසින් පරීක්ෂා කෙරේ. 

සෑම මනුෂ්‍ය ජීවිතයක් ම මනුෂ්‍යයකු වීම නිසා ම එක හා සමාන ව වැදගත් ය. වෛද්‍ය විද්‍යාවේ සියලු අභිවර්ධනයන්ගේ ඒකායන අරමුණ ඒ සා වැදගත් සියලු මනුෂ්‍ය ජීවිත හැකි උපරිමයෙන් රැක ගැනීම ය.

Advertisements

One thought on “හිසේ කැක්කුම ගැන ඔබ නොදත් දේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )