සාස්තර

සුමනදාස තදින් දෑස පියා ගත්තද නින්ද ඔහු අහලකවත් නොවිය. නිවසේ වැඩ කටයුතුද එහෙම්මම නතර විය. මේ අවුරුද්දේවත් බිත්ති ටික නග්ගන්න සිතුවාට එය වෙන පාටක් නම් නැත.

“එකත් කරුමේ, අනුන්ගේ බිත්ති නම් කියක් නග්ගන්න ඇත්ද?”

සුමනදාස මේසන් වැඩට අත් උදව් දෙන ගෝලයෙකි. යහමින් වැඩ ඇතත් ඉතුරු කර ගත් යමක් නැත. වැඩ වරුව අවසානයේ ඇග පතේ අමාරුවට හැමදාම කට්ටියගෙන් කියක් හරි එකතු කර ගන්නා ගෝමස් බාස් සීල් අරක්කු බෝතලයක් ගෙනෙයි. අනිත් අඩුම කුඩුම ටික ගත් පසු දුම්වැටි  වලටත් ගානක් යයි.

” අඩියක් ගහනවයි කියන එකත් දැන් ලේසි දෙයක් යෑ,  උන්ගේ ආච්චිට හාල් ගරන්න රෙද්දේ ආණ්ඩු කෙරුවාව. මේසන් වැඩක් කරපු එකෙක් ඉන්නවායෑ ඕකේ.”

තුන් මහකින් පමණ ගෙදර ගියේද නැත. කදානේ සිට ඇබිළිපිටියට යන ගමන් වියදමද ලේසි පහසු නැත. උදැසන තම නැගණිය ගත් දුරකථන ඇමතුම ඔහුට සිහිවිය. “පුළුවන් නම් ඇවිල්ල යන්ට කියල අම්මා කීවා. කාස්ටකේ හින්දා වගාවත් හේබැවිලා ගිහිල්ල කියල.”

“අත් දෙක වන වනා ගෙදර යන්ට පුලුවනැ. ඇරත් මන් ගියා කියලා ඔය කාස්ටකේ නැතුව යනවායැ. ”

තම මව එන්ට කියන්නේ කාස්ටකේ නැති කිරීමට නොව පුළුවන් නම් කියක් හරි රැගෙන එන ලෙස වැනි යමක් යැයි කියා සිහියට නැගෙන විට ඔහු එම සිත බලෙන්ම යට කරගත්තේය.

තට්ටු දෙකකින් යුතු මේ නිවසේ වැඩ කටයුතු නම් ලහි ලහියේම සිදුවෙයි. නිවසේ අයිතිකාර මහත්තයානම් කිවේ නිවසක් සාදන වැඩ කටයුතු ගැන ලොකු බලාපොරොත්තුවක් නොතිබ්බත් මේ කපු මහත්තයාගේ වැඩ කිඩ නිසා මේ තරම් ඉක්මනින් නිවස සදා ගැනීමට හැකි වූ බවයි.
” මාත් ඒ කපු මහත්තයගෙන් සාස්තරයක් අහන්න පුලුවන්ද කියලා මහත්තයගෙන් අහල බලන්ට  ඕනි”

අසල නිදා සිටි නාදන් දිග සුසුමකින් ලය සැහැල්ලු කර අනික් පස හැරුනේ පැන යන්නට දගලන නින්දට යන්ට නොදී තුරුළු කර ගැනීමට මෙනි. මාස හතරක පමණ බිළිදෙකුගේ පියකු වන නාදන් වතුකරයේ රස්සාවට ආයුබෝවන් කියා මෙහි පැමිණ වැඩි දවසක් ගතව නැත. සිංහල හරි හැටි කතා කිරීමට නොදත් ඔහුට තම හිතේ ගැටළු කීමට තරම් කෙනෙක් තවමත් මෙහි නැත.

“බලා ගෙන යද්දී කොයි කාටත් ප්‍රස්න තමා.. පව් අසරණයා, හෙට උදේටවත් කතා කරලා බලන්ට ඕනි. ”

                     …

පසුදා නිවසේ හිමිකාර මහතා පැමිණි පසු සුදුසු වෙලාවක් බලා සුමනදාස ඔහුට කිට්ටු කොට ,
” මහත්තයත් එක්ක පොඩ්ඩක් කතා කරන්න උන්නේ අර කපු මහත්තය ගැන. ”

“අහ්, මොකද්ද සුමනදාස ?

“මේකයි මහත්තය, අපේ ගේත් හදන්න අරන් දැන් අවුරුදු දෙකකටත් වැඩි. තාම බිත්ති ටික නග්ග ගන්නවත් බැරි උනා. එක ගැන පොඩ්ඩක් අහන්න.”

” අහ් හරි හරි මන් මෙහෙට එක්කන් එනවා කපු මහත්තයව බහිරව පුජාවක් තියෙනවානේ. එදාට අහගන්න බැරියා.”

විදර්ශන කඩවත ප්‍රදේශයේ කපු මහතෙකි. විවාහකයෙක් වන ඔහුගේ බිරිද ඔහු හැර ගොසිනි. ඇය වෙනත් පුද්ගලයෙකු හා දීග කන බව මිනිසුන් කියයි. කපු මහතා නම් කියන්නේ දේවාල වැඩ කටයුතු නිසා ඔහුට ස්ත්‍රී ආශ්‍රය අකැප බවයි.

“හොදයි ද මහත්තය මිනිහගේ වැඩ හැබෑටම ”
” මොනා අහනවද සුමනදාස. ආයේ මම මේ ගෙවල් හදන්න හිටිය මිනිහෙක් ද? අපේ නැතිවෙච්ච අය්යා කෙනෙක් හිටිය ෆෙඩ්රික් කියල මිනිහව බැදගෙන තමා මේ වැඩ ටික ඔක්කොම කපු මහත්තය කරේ.”

“හැබැවටම? ”

“නැතුව, මේ විදියට ගේ හදාගන්න සල්ලි කොහෙන් කොහෙන් හරි හම්බෙනවනෙ අයිසේ සල්ලි නැති උනාම”

“හැබැවටම..කොහෙන් කොහෙන් හරි කිවුවේ මහත්තයෝ. ”

“දැන් බලනවා, ඊයේ ලක්ෂ තුනක් ගෙවන්න තිබ්බා. අතේ තිබ්බේ නෑ සත පහක්. හැන්දවෙද්දී හම්බුනා ලක්ෂ තුනක් පොලියට දෙන තැනකින්. මාසෙට ලක්ෂ තුනටම රුපියල් විසිහතරදහයි දෙන්න කිවුවේ සීයට දහයක් ඕනි නැහැයි කියල. ඔය වගේ තමයි ගොඩක් එහෙන් මෙහෙන් හම්බුවෙච්චා.”

“හැබැවටම? ”

“තමුසේ බය නැතුව ඉන්නවකෝ. එදාට ආපුවම අහනවකෝ තමුසෙම, බලන් හිටිය වගේ කියන් නැද්ද කියල”

මහත්තයා ගිය පසු සුමනදාස නිවසේ බිත්ති බැදෙන ආකාරය දෙස මදක් බලා සිටියේය. තම නිවසෙත් බිත්ති හතර මේ අයුරින් ඉහල යන අයුරු ඔහුට මැවී පෙනින. තම පියාද නැතිවී වසරක් පමණ ගත විය. තමාගේ නිවස සැදීමට තම පියාද කපු මහත්තයට සහය දෙන බවට සැකයක් නැත.

“ඒ සුමනේ, මොකදැ උබ අද වැඩක් කරන්න අදහසක් නැද්ද ?

“මේ එනවා, මේ එනවා”

                                                    …

විදර්ශන කපු මහතා ඇඳ සිටියේ කතරගම දෙවියන් හා සමාන ලෙස වන ඇදුමක්ය. නමුත් ඔහුගේ අතේ ත්‍රිශුලයක් ද විය. මුහුණට යෙදු වත්සුණු කහපාටට හුරු විය. තොල් රතු පාටට සායම් කර ඇති අතර ඇහි බැමි මෙන්ම ඇස් පිහාටු ද කළු පාටට දිගට දිස් විය.

අඩි පහක පමණ කපා තිබුන වලට බට කපු මහතා ආවේස වී නටන්නට විය. ගෙනා පලතුරු සහ තවත් අනෙක විද දෑ එම වලට දැමු ඔහු තැබිලි ගෙඩි හයක් පමණ තම නළලෙහි ගසා කඩා දමමින් එම වලටම දැමුවේය. ඉන් සමහරක් ලපටි ගෙඩි නොවුයෙන් ආවේස වී සිටි කපු මහතාට ආවේගය ගෙන දුන්නේ ය.

“ලපටි ගෙඩි ගෙන්න කිවුවාම, මෝරපුවා උස්සන් ඇවිල්ල මෙතන ” යැයි පවසා නිවෙස් හිමිකාර මහතා දෙස මද වෙලාවක් රවා ගෙන කිපුණු ස්වරුපයෙන් බල සිටියේ ය.

ඉන් අනතුරුව කපු මහතා සිහි සුන්ව වැටිණි. අප කිහිප දෙනෙකු ඔහු ඔසවාගෙන ගොස් වාඩියේ අප නිදා ගන්නා තැන මද වෙලාවක් සැතපුවෙමු. ඔහුගෙ කරට දමා තිබු සළු එක් එක් පාට ඒවා විය. ඔහුගේ සහයට ආ කොලු ගැටයා එම සළු මාරු කරමින් බැලුවේ ඔහුට ඒ වෙලාවේ ආවේස වී සිටියේ කුමන දෙවියන් දැයි ඔහු නොදත් හෙයිනි. මද වෙලාවකට පසු නිවැරදි සළුව ඔහුට ලැබුණි. ඔහු නැවත සිහියට ආහ.

සැබවින්ම ඔහු සිහියට ආවා නොවේ. ඔහුට ආරුඪ වී සිටි දෙවියන් සැබෑ රජ තේජසින් නිදි පියස්සෙන් නැගිට ගත්තේය. මා දිව ගොස් නිවෙස් හිමිකරුට පේන්නට සිට ගත්තේ රාජ තේජසින් ත්‍රිශුලයක්ද අත දරා සිටි දෙවියන් සමග එකවර දිව ගොස් කතා කිරීමට තරම් මට තේජසක් නොවූ හෙයිනි. එය මැනවින් අවබෝධ කරගත් හිමිකරු සෙමෙන්,
“මේ තමයි සුමනදාස, එයාගෙත් මොකද්ද වැඩක් තියෙනවා කර ගන්න’ යැයි යටහත් පහත් ලෙස පැවසිය.

“කෝ මෙහෙට වර ඉස්සරහට….ඉස්සරහට….. , හ්ම්ම්” , මද වෙලාවක් මා දෙස බලා සිටි එතුමා, ” ගෙදර බත් පතට නිතර වැලි වැටෙනවා නේ ? ”

මා කල්පනා කර බැලීමි. එහෙම විනම්බෑසියක් මගේ මතකයේ නැත.

” එහෙම නැ සාදු”

“එහෙම නෑ? ගෙදර නිතර සද්ද බද්ද ඇහෙන්නේ නෑ? ”

මා නැවතත් කල්පනාවක පැටලුණි. ගහකින් ගෙඩියක් වැටෙනවා ඇරෙන්න වෙනත් සද්දයකට ඇත්තේ එක එක ලපයි සිපයි කියන බෙලෙක්ක ටකරන් ගීත රාවය පමණි. ඒවා නම් තම නැගණිය අපේ නිවසට පමණක් ඇසෙන්නට දමන සද්ද නොවේ.  මේ කතා කරන්නේ ඒවා ගැන නොවිය හැකිය. එක අතකින් බැලු කල උන්ට වඩා ප්‍රේතයන් ගේ ගීතයකට සවන් දීමට තිබුණි නම් එය කනට මිහිරි වනු ඇත.

” එහෙම නැ සාදු”

දෙවියෝ සිනා වී හිමිකරු දෙස බැලිය.

” මේ සුමනදසගෙ  ගේ හදන්න  අරන් අවුරුදු දෙකක් වෙනවලු. තාම හදා ගන්න බැරි වෙලා තියෙනවා එකයි. ” හිමිකරු කාරණේ පැවසිය.

“උබ දන්නවද මම මොකද හිනා උනේ කියල ?” යැයි හිමිකරුගෙන් ඇසිය.

“මන් දන්නවා මන් දන්නවා ”

දෙවියන් මා දෙස හැරී, “එක තමයි එක තමයි බෝල මන් කිවුවේ. අමනුස්සයෝ පස් දෙනෙක් ඉන්නවා ගෙදර , පස් දෙනෙක්”

“එහෙමයි සාදු”
“එවුන් පස් දෙනාම එලවන්න ඕනි. එතකන් උබට ගේ හදාගන්න බෑ ”
“එහෙමයි සාදු”
“ගේ පිටිපස්සෙන් ඇළ පාරක් යනවා නේද? ”

මම නැවතත් කල්පනා කර බැලීමි. එහෙම දිය සිරාවක් ලග පාත නැත. වගාවන් කටයුතු සදහා ජලය ලබා ගන්නේද බොහෝ අසීරුවෙනි.

” එහෙම නැ සාදු”
” ගේ පිටි පස්සෙන් වතුර පාරක් යන්නේ නැ”
” එහෙම නැ සාදු”
“එතකොට ගෙයි ඉදුල් වතුර කොහෙන්ද යන්නේ ?
සැබෑය. දෙවියන් ඇළ පාරක් යනුවෙන් කියා ඇත්තේ එය ය.
“එහෙමයි සාදු”
“එක තමා බෝල කියන්නේ ” දෙවියන්ගේ මුහුණට ජයග්‍රාහී සිනාවක් පහළවිය. ඔහු වට පිට බැලිය. පැමිණ සිටි පිරිසද එතුමා දෙස බැතිබර ලෙස බලා සිටි. කඳාන නගරයේ සිට ඈත එපිට ඇබිළිපිටිය ගම දෙස දිවසින් බලා එතුමා කරනු ලැබූ අනාවැකිය සත්‍යකි.
“ඒකට  මොකද කරන්නේ සාදු”
“ප්‍රේතයෝ ටික අයින් කරපිය, වැඩේ කර ගන්න පුළුවන් වෙයි. ”

“එහෙමයි සාදු”

“කියක් විතර යයි ද සාදු? ”
“ලක්ෂ දෙකක් විතර යාවි බෝල ඔක්කොම අඩුම කුඩුම එක්ක. උබට බය වෙන්න දෙයක් නැ හදුන්කුරේ ඉදන් මම ගේනවා. උබ සල්ලි ටික ලෑස්ති කර ගෙන හිටු .”

“ප්‍රේතයෝ ටික කොහෙටද දාන්නේ  සාදු”

“යකෝ මම අරන් යන්නේ. මේ දැනුත් මගේ ඇගේ යක්ෂයෝ පහළොස් දෙනෙක් ඉන්නවා. මම එන්නේ යක්ෂයොත් එක්ක .”
“හැබැවටම,” මට කියැවුණි.

” හැබැවට තමා බෝල, උබට දෙවියෝ විස්වාස නැද්ද? ”

යක්ෂයන් පස් දෙනෙක් හා දෙවිවරු කිහිප දෙනෙකි. හාත් පස වෙනස් කොට්ටාස වුවද යක්ෂයන් හා දෙවියන් කොතරම් සහයෝගයෙන්, සහජීවනයෙන් සිටි දැයි මට සිතිනි. කපු මහතා සැබෑවටම දක්ෂයෙකි.

දෙවියන්ගේ දිගු මොනර පිහාටු වලින් ආශීර්වාදයක් ද ලබා ගත් මා හට මෙතෙක් දවස් දෙසවන් අද්දර රැව් දුන් මහා කාලගෝට්ටියක අවසානය මෙන් නිදහසක් දැනින.

” අද නම් කලින් නිදා ගන්න පුළුවන් ”

මෙතෙක් දවස් නිදා ගැනීමට දෑස් පියා ගත් සුමනදාසට ජිවිතයේ නා නා විධ ප්‍රශ්න බහුවරණ ස්වරුපයෙන් නිරූපණය විය. දැන් ඔහුට ඒ කිසිවක් නැගෙන්නේ නැත.  දැන් ඔහුට නින්දට ගිය පසු කල්පනා කිරීමට ඇත්තේ එක ගැටලුවකි.

” ලක්ෂ දෙකක් කොහොමද හොයන්නේ?

                                              ………..

(එක් සත්‍ය සිද්ධියක් ඇසුරිණි. කෙටි කතාවකට ගැලපෙන ලෙස යම් යම් කරුණු වෙනස් කොට තිබේ. නම් මනඃකල්පිතය. ගම් හා ප්‍රදේශ සත්‍යයි. )

(සියලුම හිමිකම් ඇවිරිණි.)

Advertisements

10 thoughts on “සාස්තර

  1. The Read Us සබඳ,

    ඔබගේ නිර්මාණය අගෙයි. එය කියවා මම සාහිත්‍යයික රසභාව උද්දීපනයක් ලැබුවෙමි. ඔබ මෙසේ පවසයි:

    //(එක් සත්‍ය සිද්ධියක් ඇසුරිණි. කෙටි කතාවකට ගැලපෙන ලෙස යම් යම් කරුණු වෙනස් කොට තිබේ. නම් මනඃකල්පිතය. ගම් හා ප්‍රදේශ සත්‍යයි. )//

    සත්‍ය සිස්ධි ඇසුරින් සාහිත්‍ය නිර්මාණ බිහි කිරීම පහසු කටයුක්තක් නො වේ. සත්‍ය සිද්ධි ඇසුරින් වාර්තා ලිවීමට වඩා සාහිත්‍ය නිර්මාණයක් කිරීමට සුනිශ්චිත විභවතා අවශ්‍ය ය. තමා කලකට පෙර වාසය කළ පෙදෙසක සත්‍ය සිද්ධියක් තම දේශපාලන මතයට මුක්කුවක් වන ලෙස පුනර්කථනය කිරීම හෝ රෝගීන්ගේ පෞද්ගලික තොරතුරු රැගත් සායනික ඉතිහාසයන් සාමාන්‍ය පාඨකයා අන්දමන්ද කිරීමට අක්ෂරගත කිරීම හෝ “කෙටිකතා” යනුවෙන් සළුපිළි ගන්වා ඉදිරිපත් කිරීම වසංගතයක් වී ඇති සිංහල වියුණු අවකාශයට ඔබ ගෙනන “සාස්තර” ආස්වාදනීය නිර්මාණයකි.

    සුමනදාස නම් මිනිසකු පිටගම් ගොස් රුකියාවක් කරන අතර තුර විදර්ශන නම් කපු මහතකුගේ සරණ යාම පිළිබඳ වාර්තාවක් ඔබ නො ලියයි. එනිසා ඔබගේ ලේඛනය කුතුහලය ජනනය කරන පත්‍ර වාර්තාවක් ලෙස සලකා, විදර්ශන නම් කපු මහතා ලෙස පෙනී සිටින්නේ කඩවත නානායක්කාර කපු තක්කඩි මහතා ද නැත හොත් රාගම සීයාගේ ⁣තක්කඩි පුතා ද එසේත් නැති නම් රාගම සීයාගේ තක්කඩි මුනුපුරා ද යන්න පිළිබඳ නිගමනවලට එළඹෙන්නට වෑයම් කරන කලාකාමී නො වන පාඨකයාට ගුණයක් නැති කුණුරස ආහාර ඔබ විසින් නො සැපයේ.

    එලෙස ම මෙම ලේඛනය සුමනදාසගේ එක් අත්දැකීමක් එයට සම්බන්‍ධිත විවිධ පුද්ගලයන්ගේ ක්‍රියාකලාප සමඟ මුසු කොට සත්‍ය කතාවක් උත්කර්ෂණීය ව පැවසන උපාඛ‍්‍යානයක් ද නො වේ.

    සුමනදාසගේ රූපකාය පිළිබඳ වර්ණනා ද ගම රට පිළිබඳ වර්ණනා ද අවශේෂ චරිත පිළිබඳ වර්ණනා ද කරමින් දීර්ඝ පෙළක් නිර්මාණය කරන්නට ද ඔබ නො පෙළඹේ. ඔබ සාහිත්‍යයික ව ස්පර්ශ කරන්නේ ඔහුගේ ජීවිතයේ කිසියම් සුනිශ්චිත කාරණයක් පමණි. සුමනදාසගේ ජීවිතයේ පුළුල් පරාසයක් ඔබ ඔබගේ පෙළට හසු කර ගන්නේ නැත. ඔබගේ ලේඛනය නවකතාවක පරිච්ඡේදයක් හෝ පිටු කීපයක් වීම එනයින් ඔබ සූර ලෙස වළක්වා ගෙන ඇත.

    එසේ නම් ඔබ මෙම නිර්මාණාත්මක ලේඛනයෙන් කර ඇත්තේ කුමක් ද? එය මගේ විමර්ශනයට අනුව මෙලෙස ය:

    සුමනදාස නම් පිටගම් ගොස් රුකියාවක් කරන මිනිසකුගේ මූලික ප්‍රශ්නයක් මත පිහිටා, එම ප්‍රශ්නය සුනිශ්චිත සන්දර්භයක සුනිෂ්චිත අරමුණක් ඔස්සේ විකාසනය කර එම ප්‍රශ්නයට පිළිතුර ලෙස සුමනදාස ආසක්ත වන විසඳුම සුමනදාසගේ මනස ද ශරීරය ද මත ඇති කරන ආචරණය සාහිත්‍යක ව ප්‍රතිනිර්මාණය කිරීම යි. ඔබගේ පෙළ සුමනදාස සහ තවත් චරිත දෙකක සීමාවට යටත් වේ. ඔබගේ පෙළ දිවෙන්නේ සුමනදාසගේ නිවාස ප්‍රශ්නයේ දිගට පමණි. වරක් අන්තොන් චෙකොෆ් නිර්දේශ කළ ලෙස ම ඔබගේ නිර්මාණ අභිප්‍රායට අනවශ්‍ය චිස්තර එක් පෑන් ඉරකින් කපා හරින්නට ඔබ බිය වන්නේ නැත.

    පාඨකයාගේ අවධානය සුනිශ්චිත කාරණයක් ඔස්සේ භාවෝන්නතීය කූටප්‍රාප්තියකට ගෙන ගොස් ඔබ මහා චණ්ඩ මාරුතයකට පසු ව වා තලය සන්සුන් වූ ලෙස ඔබගේ පෙළ අවසානයට ගෙන එයි. එහෙත් එම සන්සුන් බව සැනසීමක් නො වේ; හාත් පස වියවුල් ය. සුමනදාස තමන්ගේ එතෙක් පැවති ගැටලුව වෙනුවට අභිනව ගැටලුවක් වැලඳ ගෙන එය සැනසීමන් කර ගනී. සුමනදාසගේ චරිතය පෙළෙහි ගොඩ නැඟෙන ආකාරය අනුව ඇතැම් විට මෙකී නව සැනසීම තාවකාලික බව ඔහු දන්නේ විය හැකි ය.

    ගුප්ත ශාස්ත්‍රය පිළිබඳ ඔබේ අස්ථානය මෙය ය යි පවසන්නට ඔබ පෙළ තුළට කඩා පනින්නේ නැත; පෙළ මැදට කඩා පැන බණ කියන්නේ ද නැත. එහෙත් රමණීය ව්‍යවහාර භාෂාවකින් නිමවුණු සමස්ත පෙළ තුළ ඔබ ඔබගේ අස්ථානය අප්‍රකාශිත ව ගැබ් කර ඇත. සිත දෙදරවන විරෝධතා පාඨ නො නඟා, සියුම් උපහාසය පෙළ නොබිඳෙන ලෙස මුසු කර, සුනිශ්චිත කාරණයක විකාසනය මනරම් භාෂාකරණයකින් ප්‍රතිනිර්මාණය කර, පාඨක හදමන ඒකාකාර ව ගලා යන චිත්ත ධාරාවට බාධා කරන ඔබගේ මෙම ලේඛනය කෙටිකතාව නම් මාහැඟි සාහිත්‍යකලා ශානරයට අයත් ය යි මම නිසැක ව ම පවසමි. කෙටිකතාවේ අභිප්‍රාය, ආකෘතිය, පෙළ හැසිරවීම සහ භාෂාකරණය පිළිබඳ ඔබට වැටහීමක් ඇති බව මම පවසමි. මෙම කෙටිකතාවේ කථනය ප්‍රථම පුරුෂය සහ උත්තම පුරුෂය අතර හුවමාරු වන බව මම නිරීක්ෂණය කළෙමි. එය ආඛ්‍යාන රීතිය සමඟ කළ අත්හදා බැලීමක් ද නැත හොත් අතපසු වීමක් ද යන්න මට පැහැදිලි නැත.

    ඔබට අපූර්ව වස්තු නිර්මාණය කිරීමේ ප්‍රතිභාවක් ඇති බව ද ව්‍යුත්පන්න හැකියාවක් ඇති බව ද පෙනේ. එම කුශලතා උපයුක්ත කර මාහැඟි නිර්මාණ පාඨකයාට ප්‍රදානය කිරීමට සතතාභ්‍යාසය අත්‍යාවශ්‍ය ම වේ. නිරන්තර ව ලියන්න. එවිට ලේඛන හැකියාව මනා ව ඔප නැගේ.

    ඔබගේ කෙටිකතාව මම අගයමි. මගේ සුභාශිංසන!

    බන්‍ධුල කුදලාගම,
    සදම්ටනය.

    කැමතියි

    • කුදලාගම මැතිදුනි,
      ඔබගේ ප්‍රතිචාරයට හා කාලයට ස්තුති වන්ත වෙමි. කෙටි කතාවක් ලෙස මෙය මාගේ පළමු නිර්මාණයයි. එය කෙටි කතාවක් යැයි කීමට තරම් සුදුසු දැයි මම නොදනිමි. භාෂාවට මම ඔබ තරම් ප්‍රවීනයෙකු නොවෙමි. එබැවින් ඔබට මෙහි බොහෝ වැරදි, අඩුපාඩු පෙනෙන බව මම තරයේම විශ්වාස කරමි.

      //කලාකාමී නො වන පාඨකයාට ගුණයක් නැති කුණුරස ආහාර ඔබ විසින් නො සැපයේ///

      සැබවින්ම මාගේ අරමුණ ඒ කපු මහතාට අපහාස කිරීම නොවේ. එම සේවාව ලබාගැන්නවුන් දෙස උපහාසාත්මක ලෙස බැලීමයි. කපු මහතා කුමක් පැවසුවත් එය ලද බොලද ලෙස පිලිගන්නාවුන් සිටිනතාක් කල් එවැනි වන්චනිකයන්ගේ පැවැත්ම නොනවතිනු ඇත.

      //ඔබ සාහිත්‍යයික ව ස්පර්ශ කරන්නේ ඔහුගේ ජීවිතයේ කිසියම් සුනිශ්චිත කාරණයක් පමණි. සුමනදාසගේ ජීවිතයේ පුළුල් පරාසයක් ඔබ ඔබගේ පෙළට හසු කර ගන්නේ නැත//

      කුදලාගමයෙනි, සුමනදාසගේ ජිවිතයේ විස්තර ඔබ සදහන් කල පරිදි නොයෙදීම අඩුවක් වන්නේද? හෝ තිබුන නම් වඩා හොදයි කියා ඔබ සිතන්නේද ?

      //මෙම කෙටිකතාවේ කථනය ප්‍රථම පුරුෂය සහ උත්තම පුරුෂය අතර හුවමාරු වන බව මම නිරීක්ෂණය කළෙමි. එය ආඛ්‍යාන රීතිය සමඟ කළ අත්හදා බැලීමක් ද නැත හොත් අතපසු වීමක් ද යන්න මට පැහැදිලි නැත. //

      ඇත්තෙන්ම එය අතපසු වීමකි. එවැනි තැන් දෙක තුනක් පමණ මා අවබෝධ කර ගත්තෙත් ඔබ සදහන් කල පසුය.

      භාෂාව පිලිබදව ප්‍රවීනයෙකු ලෙස, ආධුනික මට එවැනි වැරදි සදා ගැනීමට කරුණු කාරණා කියා දීම පිලිබදව ඔබට බොහෝ පින්..! එම විචාරය තුලදී ද ඔබ මගේ සිත නොරිදවා අඩුපාඩු පෙන්වීමට ඔබ ගෙන ඇති උත්සාහය ඔබගේ කාරුණික බව මනාව පසක් කරවයි.

      කැමතියි

      • The Read Us සබඳ,

        මෙය ඔබගේ පළමු කෙටිකතාව නම් එය අසිරිමත් කෙටිකතාවතරණයකි. කෙටිකතාව යනු වාර්තාවක්, උපාඛ්‍යානයක් හෝ නවකතාවක කොටසක් ⁣හෝ නො වේ. ඔබ ඒ බව මනා ව වටහා ගෙන ඇති බව මගේ නිරීක්ෂණය යි. ඔබගේ නිර්මාණාත්මක ලේඛනය වාර්තාවක් හෝ උපාඛ්‍යානයක් හෝ නවකතාවක කොටසක් හෝ නො වී කෙටිකතාවක් ම වන්නේ ඇයි යන්න මම මගේ ආලෝචනයේ දී පැහැදිලි කළෙමි.

        චරිත රාශියක් ගෙන, එම චරිත සවිස්තරාත්මක ව විවරණය කරමින්, එම චරිත ජීවී සහ අජීවී පරිසරය සමඟ පවත්වන අන්තර්ක්‍රියා විවරණය කරමින් පෙළ ගොඩනැඟිය යුතු වන්නේ නවකතාවක ය. කෙටිකතා යනුවෙන් හඳුන්වා පළ කෙරෙන බොහෝ ලේඛන කෙටිකතාවලට වඩා නවකතාවක පරිච්ඡේදයක් හෝ පිටු කීපයක් හෝ වන බව පෙනේ. ඔබගේ ලේඛනය එම නොනිසි තත්ත්වයට පත් ව නැත. එය ඔබගේ සාධනීය ලක්ෂණයකි. ඒ බව පැවසීම ය මා පහත සඳහන් වැකි ද්වයයෙන් කර ඇත්තේ:

        //සුමනදාසගේ ජීවිතයේ පුළුල් පරාසයක් ඔබ ඔබගේ පෙළට හසු කර ගන්නේ නැත. ඔබගේ ලේඛනය නවකතාවක පරිච්ඡේදයක් හෝ පිටු කීපයක් වීම එනයින් ඔබ සූර ලෙස වළක්වා ගෙන ඇත. //

        කෙටිකතාව ඇමෙරිකන් සාහිත්‍යය තුළ ශිල්පීය ව ඉහළ වර්ධනයක් ලැබූ කලා ශානරයකි. එඩ්ගාර් ඇලන් පෝ එහි මුලාදර්ශයන් පිළිබඳ විග්‍රහ කළ පුරෝගාමියෙකි. ඉනික්බිති ව කෙටිකතාවේ ශිල්පක්‍රම විශාල වර්ධනයක් ලැබී ය. රුසියාවේත් බටහිර යුරෝපයේත් කෙටිකතාවේ අග්‍රඵල බිහි විණ. අන්තොන් චෙකොෆ් සහ ජේම්ස් ජොයිස් මගේ සිත්ගත් කෙටිකතාකරුවන් දෙදෙනා යි. චෙකොෆ්ගේ කෙටිකතාවල අමතර, අනවශ්‍ය, කතාවේ අභිප්‍රාය සමඟ නොබැඳෙන, වෙහෙසකර කථනයන් නැත. ඔහුගේ කෙටිකතාවක පෙළින් එක වාක්‍යයක් හෝ අතහැර දමන්නට නොහැකි ය. ඔබ ඔබගේ කෙටිකතාවේ දී සුමනදාසගේ මනස ක්‍රියා කරන ආකාරය විචිත්‍රවත් ව පවසයි. කෙටිකතාවකට පාදක වන චරිතයේ විඥාන ධාරා හැසිරෙන ආකාරය මනා ව පළ කරන කෙටිකතා ලියුවෙකි ජේම්ස් ජොයිස්. මම ජොයිස්ගේ ඩබ්ලිනර්ස් කෙටිකතා සංග්‍රහයට අදටත් ඉතා කැමති ය.

        දක්ෂ ලාංකික කෙටිකතාකරුවෝ බොහෝමයක් සිටිති. ඒ අතරින් මගේ සිත වැඩියෙන් ඇදී ගියේ ජී. බී. සේනානායක, ගුණදාස අමරසේකර සහ මෑත කලෙයේ නම් නිශ්ශංක විජේමාන්න වෙත ය (මම අනෙක් කෙටිකතාකරුවන් ද කියවමි; ඔවුහු ද දක්ෂයෝ ය). නූතන (මගේ පරම්පරාවට නූතන!) සිංහල සාහිත්‍යයේ ගුණදාස අමරසේකර තරම් වීරයකු මට සිටියේ නැත (මා පවසන්නේ ඔය දැන් සිටින ගුණදාස අමරසේකර පිළිබඳ නො වේ. මගේ වීරයා මිය⁣ ගොස් බොහෝ කල් ය). ගුණදාස විශිෂ්ටතම සමකාලීන සිංහල කවියා ද කෙටිකතාකරුවා ද බව මම විශ්වාස කරමි. නවකතාකරුවකු ලෙස ද ගුණදාස ඉහළ ම තත්ත්වයේ සිටියේ ය.

        දීර්ඝ කාලයක් පුරා කෙටිකතා කියවීමෙන් ලැබූ ආභාසය මා පැවසූ කෙටිකතාකරුවන්ගේ නිර්මාණ තුළ දැක ගත හැකි ය. සේනානායකයන්ගේ කෘතිවල තමා විදේශීය කෙටිකතාකරුවන්ගෙන් ආභාසය ලැබූ අයුරු විග්‍රහ වේ. නිශ්ශංක විජේමාන්න ඔහුගේ එක් කෙටිකතා සංග්‍රහයක පෙරවදනේ ලා පවසා තිබූ පරිදි ඔහු කෙටිකතා කියවා ලද උද්දීපනයෙන් කෙටිකතා විශාල සංඛ්‍යාවක් ලියා ඇත. ඒවා බොහෝමයක් මුද්‍රණයෙන් පළ කරන්නට තරම් වැදගත් නොවු⁣ණේ ය යි ඔහුට සිතී ඇත. එහෙත් එම නිරන්තර ලිවීම ඔහු සූර කෙටිකතාකරුවකු බවට පත් කර ඇත. නිරන්තර ව ලියන්න ය යි මා පවසන්නේ එනිසා ය. නිරන්තර ව ලියන්නට වූ කල ලිවීම මහත් ආස්වාදයකි; නිරායාස ව ලිය වේ.

        අවසන් වශයෙන් පැවසිය යුතු තවත් දෙයකි. තමන් නිර්මාණය කරන කලා ශානරය කුමක් ද යන්න පිළිබඳ මූලික රාමුවක් තිබිය යුතු ය. කවියක් ය යි පවසා සටන් පාඨයක් හෝ කෙටිකතාවක් හෝ ලිවිය නොහැකි ය. එහෙත් විවිධ සම්ප්‍රදායන් සහ රුලි තුළ සිරවිය යුතු නැත. “මම ඉන්ද්‍රජාලික යථාර්ථවාදී කතාවක් ලියමි”, “මම අධියථාර්ථවාදී කතාවක් ලියමි”, “මම පශ්චාත් නූතනවාදී නවකතාවක් ලියමි” ඈ මනස්ගාත හිසේ තබා ගෙන නිර්මාණ කළ යුතු නැත. එසේ වූ විට බොහෝ විට නිර්මාණය වන්නේ නීරස විකෘති කෘති ය. ඒවැනි කෘති නිසා පාඨකයනට කලාකෘති පරිශීලනය ද එපා වේ. කලා නිර්මාණකරුවා කලාකෘති නිර්මාණකරණයේ යෙදිය යුතු ය. ඔහු කලා විචාරකයන්ගේ කලා න්‍යාය සාධනය කරන්නට කලාකෘති කළ යුතු නැත.

        බන්‍ධුල කුදලාගම,
        සදම්ටනය.

        කැමතියි

  2. මෙය ඔබගෙ පලමු කෙටි කතාව වුවත්,අපහාසය හා උපහාසය මුසු කරමින් සුමනදාස ගෙ චරිතය තුල අපුරුවට කතාව ගොනු කර තිබෙන බව සිතමි. අපගේ සුභපැතුම්!

    Liked by 1 person

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )