මුස්ලිම් ආක්‍රමණ හා ඥානසාර දර්ශණය

බොදු බල සේනාව ප්‍රමුඛ අනිකුත් සංවිධාන මේ වන විට රටේ කතා බහාට ලක් වී තිබේ. ඒ මුස්ලිම්වරුන්ට එරෙහිව සිදු වන යම් ක්‍රියා කලාපයන් හේතුවෙනි. මේ සිද්දීන් අතර බහුලව කතා කෙරෙන මාතෘකා අතර වඳ බෙහෙත්, පල්ලි, මුස්ලිම් ආක්‍රමණය හා සිංහල ජාතිය වැනි වචන අඩංගුය. විශේෂයෙන් ම මේ මාතෘකා කරලියට එන්නේ උත්සව සම වලදී වීම ද අධ්‍යනයට යොමු කල යුතු කරුණක් වන්නේ යම් ව්‍යාපාරික ආයතනද මේ පිටු පස අඩු හෝ වැඩි වශයෙන් සිටිය හැකි වීමයි.

සැගවී ඇති ජාත්‍යාලය එලි බැස්විම සදහා බොහෝ විට යොදා ගැනෙන්නේ සිංහල ජාතිය වඳ වී මුස්ලිම් ජාතිය මහජාතිය වීමට තව වැඩි දවසක් නැති බව කියා පැමෙනි. එවිට සිංහල ව උපන් අපගේ බොකු බඩවල් රත් වී පපුවට එන මොකද්දෝ කෙලෙස් එකදාස් පන්සියෙන් එකක් නිසා එවැනි හැඟීමක් ඇති වීම ස්වභාවික යැයි මට සිතේ. එය එතෙකුදු වුවත් කොතරම් දුරට එය ප්‍රචණ්ඩත්වය වැපිරීම සදහා හේතුකාරක වන්නේ දැයි මට නොතේරේ.

1981 ජන සංගණන වාර්තාවලට අනුව සිංහල, දෙමළ හා මුස්ලිම් ජන කොටස් පිළිවෙළින් මිලියන 10.9, 2.7 හා 1.0 වශයෙන් සදහන් වී තිබිණි. (1981 පැවති සංගණනය මුළු රටම ආවරණය වුවක් නොවේ. එබැවින් එම දත්ත ඊට වඩා වැඩි විය හැකිය) 2012 සංගණනය අනුව එහි වැඩි වීම ඉහත පිලිවෙලින්ම මිලියන 15.2, 3.1 හා 1.8ක්, එනම් ප්‍රතිශතයක් ලෙස එහි ඉහල යාම 39%, 15% හා 81%කි.

ප්‍රතිශතයක් ලෙස ගත් කල මුස්ලිම් ජනගහනය 1981 පැවති මුස්ලිම් ජනගහනයට සාපේක්ෂව 81%කින් ඉහල ගොස් තිබේ. මුස්ලිම් බහුතරයක් වෙසෙන ත්‍රිකුණාමලය හා අම්පාර දිස්ත්‍රික්කවල සාඵල්‍යතා අනුපාතය පිලිවෙලින් 3.02ක් හා 2.73කි. කොළඹ දිස්ත්‍රික්කයට සාපේක්ෂව ත්‍රිකුණාමලයේ කාන්තාවක් එක් දරුවෙක් වැඩි පුර ප්‍රසුත කරන බව එමගින් නිරුපනය වේ. (සියලුම දත්ත 2012 ජන සංගණන වාර්තාව – ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව.)

2042 වසර වන විට ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනය මිලියන 25 ඉක්මවනු ඇති බව ඇස්තමේන්තු කරයි. එවිට මාගේ ඇස්තමේන්තුව මුස්ලිම් හා දෙමළ ජනගහනය මිලියන 3ක සම තත්වයට පත් වනු ඇති යන්නයි. එයට පරස්පර මත තිබෙන්නට පුළුවන.

ඥානසාර හිමි ප්‍රමුඛ බොදු බල සේනාව මේ තත්ත්වය ඉතා බරපතල ලෙස දකී. එනමුත් එයට විසදුම් ලෙස ගෙන ඇති පහර දීම හා විවේචන අතීසාරයට අඹුඩ ගැසීමක් වැනි තේරුමක් නැති ක්‍රියාවකි. ඥානසාරගේ මේ පළි ගැනීමේ සහ පහර දීමේ දර්ශනය පිටු පස වෙනත් අදෘශ්‍යමාන හස්තයක් ක්‍රියාත්මක වනවා විනා ඥානසාරට එය තේරුම් ගැනීමට තරම් මොලයක් නැති කමක් නොවේ යැයි මම තරයේ විස්වාස කරමි. මෙවැනි වර්ගවාදී ප්‍රශ්න ඇති කොට “දැන් සැප දැ’යි අසන්නට මාන බලමින් සිටින කුහක දේශපාලකයින් ද නැතුවා නොවේ.

රජයක් ලෙස මෙවැනි තත්වයක් තුල කල යුතු වන්නේ දෙපාර්ශවයේම වැරදිකරුවන්ට නිතිය ක්‍රියාත්මක කර දඩුවම් දීම වුවද, සිදු වන්නේ සිය අපක්ෂපාතිත්වය හා තම හැඳි වස්ත්‍ර වල සුදු පැහැය වැඩි පුර පෙන්වීම සදහා එක් පාර්ශවයකට බරව ක්‍රියා කිරීමයි. එය අළු යට ඇති ගිනි පුපුරැ පිදුර ගොඩකින් වැසීමට උත්සහ කිරීමකි.

වඳ වී යන භාෂාවන් අතරින් ඉඳුරාම අන්තරායකර මට්ටමේ පවතින භාෂාවක් ලෙස සිංහල භාෂාව යුනෙස්කෝ සංවිධානය විසින් නම් කර ඇති අතර එය වලක්වා ගැනීමට හෝ රැක ගැනීමට රජයක් ලෙස වගකීමක් නැතිද? සිංහල ජාතිකයන්ට එය රැක ගැනීමට ඇත්තේ කුමන අන්දමේ අයිතියක් ද?

පවතින රජය සිංහල ජාතියක් ලෙස රැක ගැනීමේ ස්ථාවරයක සිටි යැයි මම විස්වාස නොකරමි. ඒ සුළුතර චන්ද වල ඇති වටිනාකම සැලකිල්ලට ගැනීමෙනි.
නමුත් රජයක් තම ප්‍රධාන ජාතිය රැක ගැනීමට දරන උත්සාහය අනෙක් ජාතින් ගේ අයිතීන් නැති කිරීමක් නොවේ.

මේ ඥානසාරගේ දර්ශනය වෙනස් කිරීමට කාලයයි. ඒ අනෙක් ජාතීන්ගේ ජිවත් වීමට හා ආගම ඇදහීමට ඇති අයිතීන් තිබියදී තම ජාතිය රැක ගැනීමට අවශ්‍ය කටයුතු කිරීමට රජයට අවශ්‍ය ක්‍රියා මාර්ග ගැනීමට බල කිරීම හා තම ජාතින් දැනුවත් කිරීමටත් කටයුතු කිරීමයි.

තම ජාතිය වැඩි පුර බිහි කිරීමේ අවශ්‍යතාවය පිළිබද සිංහල ජනයා දැනුවත් කිරීම විනා අනෙක් ජාතීන්ට පහර දීමෙන් හෝ වර්ගවාදී ප්‍රශ්න ඇති කිරීමෙන් මෙයට පිළියම් සෙවිය නොහැකි බව දැන්වත් පසක් විය යුතුය.

 

 

 

Advertisements

ගං වතුර, දේශපාලකයන්, මාධ්‍ය ආයතන හා කුඩ්ඩන්

2016 මැයි මස ඇති වූ ගං වතුරින් පුද්ගලයන් 301,602ක් ආපදා තත්වයට පත් වූ අතර මිනිසුන් 101ක් මිය ගිය බවත්, 99 දෙනෙකු අතුරුදන් වූ බවත් එක්සත් ජාතීන්ගේ මානව සබදතා සම්බන්ධිකරණ කාර්යාලයේ වර්තාවක සදහන්ව තිබිණි. ඉන් හරියටම වසරකට පමණ පසු නැවතත් ඒ අර්බූධයම පැන නැගී තිබේ.
පසු ගිය ගං වතුරින් හානි වූ පුද්ගලයන් යන්තම් හිස ඔසවමින් සිටින විට ඔවුන්ට ඇතිවී තිබෙන තත්ත්වය අතිශයින්ම කණගාටුදායකය. එම ගං වතුර නිසා ඔවුන්ට ලබා දිය යුතුව තිබු වන්දි මුදල් වලින් අවසාන ගෙවීම වන රුපියල් 15,000/- මුදල ද ලබා දී තිබුනේ මේ මස මුලදී බව එම ගං වතුරින් හානි වූ කොළොන්නාවේ පුද්ගලයෙකු මා හට පැවසිය. මුල් ගෙවීම වන රුපියල් 10,000/- සිංහල අවුරුදු වලට පෙර ලබා දී තිබුණි. මුළු වන්දිය රුපියල් 25,000/-කි. සිදු වූ හානිය සමග බලන කල රුපියල් විසි පන්දහසින් කල හැකි කිසිවක් නැත. එම පුද්ගලයා සතුව තිබු අලුතින් මිලදී ගත් මහන මැෂිමක් ද ගං වතුරට ගසා ගෙන ගොස් තිබුණි. එය නැවත අලුත්වැඩියා කොට සකස් කිරීමට රුපියල් 12,000ක් වැය වූ බවද කියැවින. එහි සත්‍ය අසත්‍ය මා නොදනී. නමුත් ඒ හා සමාන දෑ තවත් සිදුවී තිබෙනු නිසැකය.

ස්වභාවික විපත් නිසා කොපමණ අලාභ හානි වුවද එයින් වාසි ලබන්නෝද එතරම් ම සිටිති. එයින් මුල් ආදර්ශය ලබා දුන්නේ හිටපු ධිවර ඇමති කෙනෙක් ය. ඒ සුනාමි සහන මුදල් සොරකම් කිරීමෙනි. දුෂිත සරත් සිල්වා නිසා එතනින් ගැලවුණු ඔහු මුළු ජාතියක්ම සොරකමට පුරුදු කොට, ඉරීමට කුඩු ටිකක් අයදින කුඩ්ඩන් මෙන් ඔහු පසු පස ඒමට සැලැස්වූයේ ය. සොරකමට ඇබ්බැහි වූ පුද්ගලයාත්, කුඩු වලට ඇබ්බැහි වූ පුද්ගලයාත් අතර වැඩි වෙනසක් නැත.

වතුරට ගසා ගෙන ගිය ඇදන්, ගෘහ උපකරණ ආදී බොහෝ දේවල් සුද්ද පවිත්‍ර කොට විකුණා දමා ඇත්තේ කුඩ්ඩන් ය. එම ගං වතුරින් උපරිම ලාභ ලැබුවෝ ඔවුන්ය. කුඩ්ඩන් බෝතල් පත්තර යකඩ හා කුණු ඇහිඳින මුවාවෙන් මිනිසුන්ගෙන් මග හැරුණු හෝ ගැලවී ගිය රත්රන් බඩු පවා සොයා ගෙන විකුනුවෝය. එවැනි පුද්ගලයන් දැනුත් තමුන්ගේ උකුසු ඇස යොමු කර ගෙන සිටිනු නිසැකය. මිනිසුන්ට ආධාර සදහා ලබා දිය යුතුව තිබු මුදල් සහ අනිකුත් දේ සොරකම් කිරීම හා සසදන කල, එක පසෙකින් පොළවට වැළලී යන දේ සොයා ගෙන විකිණීමෙන් ඔවුන් කර ඇත්තේ එතරම් වරදක් නොවේ.

යල් පැන ගිය තාක්ෂණයක් සහිත කාලගුණ දෙපාර්තමේන්තුව අවශ්‍ය නිසි තාක්ෂනය සහිතව පුනරුත්ථාපනය කිරීමට මෙය සුදුසු කාලයයි. එයට අවශ්‍ය මුදල් වෙන්කිරීම, සුඛෝපබෝගී වාහන වෙන් කිරීමට තරම් උනන්දුවෙන් කිරීම අවශ්‍ය ය.

අනෙක් අයගෙන් ලබා ගත් සහන මලු තමන්ගේ නම ගසා බෙදා දෙනවුන් අතර මාධ්‍ය ආයතන හා දේශපාලකයන් ද සිටින බව වාර්තා වල පළවිය. ලෝකේ විනාස වුවද එහි වාසිය තමුන්ගේ පැත්තට හරවා ගෙන කටයුතු කිරීමට හැක්කේ දේශපාලකයනට පමණක් නොවෙන වගට මෙය හොද උදාහරණයකි.

අනෙක් විධ මිනිසුන් විසින් තැනු තමුන්ගේ කුඩා ලෝක වල පෙරලුන බිත්ති, ඇද හැලුණු මළ සිරුරු මතින් පිය නැගිය හැක්කේ කුඩ්ඩන්ට පමණක් නොවෙන වගත් ඒ හා සමාන තවත් දෙපිරිසක් සිටින වගත් අවතැන්වූවන්ට මතක් කර දෙනු පිණිස මේ සටහන ලිවුයෙමි.

 

සම්බුද්ධ තෙමගුල කොයිබටද?

උපත, බුදුවීම හා පිරිනිවීම සිහිපත් කෙරෙන වෙසක් පුන් පොහෝ දින මම මගට ගොස් එහි අසිරිය මදක් වින්දෙමි. හිරු කෙමෙන් වියැකී යද්දී වෙනදාට අඩු වන රථවාහන අද එහි නොවිය. කාර්, වෑන් ,ලොරි භාග, යතුරු පැදි මෙන්ම පා පැදි ද එහි අඩුවක් නැත.  උසුළු විසුළු සිනා හඩ අතර නලා හඩ ද රැවු පිලිරාව  දුනි. ඒවා  පරයමින් ඇදී  ආ ගිලන් රථයක හඩටද ප්‍රතිචාර දැක්වීමට ජනයාට නිනව්වක් නැත. ඉක්මනින් ගොස් වෙසක් අසිරිය බලා ආතල් එකක් ගැනීමේ සිහිනයෙහි ඔවුන් ගිලි ඇත.

මග ඇවිද යන සෙනග අතරින් බොහෝ අය සොයන්නේ තම කාමුක අස්වාදයන්ට ගොදුරුය. තම ජීවිතයන්ට සහකරුවන් හෝ සහකාරියන් ය. තද බද පවතින අවස්ථාවක කවුරුන් හෝ බලන්නේ ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමටය. තම මලයා ගැහැණු කෙනෙකුගේ ලැම මිරිකන අයුරු දුටු ඔහුගේ අය්යා ඔහු අත තිබු කුඩයෙන් මලයාගේ හිසට පහරක් ගැසිය. එයින් උරණ ඌ මල්ලි, ” අද වගේ දවසකවත් තනක් මිරිකපුවම මොකද වෙන්නේ ” යයි තම සොහොයුරාගෙන් ඇසියේ මා සිටි තැනදිමය.
තනක් මිරිකපුවම මොකද වෙන්නේ යන්න වෙනම කාරණයකි. මට කල්පනා කිරීමට සිදු වුයේ අද වගේ දවසක යන වචනයයි. ” අද වගේ දවසක, වෙසක් පුන් පොහෝ දින.”

අද වගේ දවසක අනිත්‍ය සංස්කාරය මෙනෙහි කරමින් පෘතග්ජන අප සියලු දෙනා සිටිය යුතු යැයි මා කියන්නේ නැත. එය ප්‍රයෝගිකව සිදු නොවන දෙයකි.  නමුදු ලෞකික වූ සිත් තුල පහල වන චේතනා වලට ලෝකෝත්තර වූ හරයන් පවතී. පවතින දානමය පිංකම්, සැරසිලි හා ආලෝක පුජා අතර බුද්ධාලම්භන ප්‍රීතියක් ඇති වන්නේ කීයෙන් කී දෙනෙක්ටද ? පිරිනිවීමෙන් පසු වසර 2561 ගෙවුනද ප්‍රාඥයන් වහන්සේගේ සුවහසක් ගුණ සමුදාය නිසා අදටත් පවතින එම පින්කම් කෙරෙහි සතුටු වුයේ කවරහුද? තෙමගුලෙහි අසිරිය සැබෑ ලෙස විදිය හැක්කේ ඔවුන්ටය.

සාස්තර

සුමනදාස තදින් දෑස පියා ගත්තද නින්ද ඔහු අහලකවත් නොවිය. නිවසේ වැඩ කටයුතුද එහෙම්මම නතර විය. මේ අවුරුද්දේවත් බිත්ති ටික නග්ගන්න සිතුවාට එය වෙන පාටක් නම් නැත.

“එකත් කරුමේ, අනුන්ගේ බිත්ති නම් කියක් නග්ගන්න ඇත්ද?”

සුමනදාස මේසන් වැඩට අත් උදව් දෙන ගෝලයෙකි. යහමින් වැඩ ඇතත් ඉතුරු කර ගත් යමක් නැත. වැඩ වරුව අවසානයේ ඇග පතේ අමාරුවට හැමදාම කට්ටියගෙන් කියක් හරි එකතු කර ගන්නා ගෝමස් බාස් සීල් අරක්කු බෝතලයක් ගෙනෙයි. අනිත් අඩුම කුඩුම ටික ගත් පසු දුම්වැටි  වලටත් ගානක් යයි.

” අඩියක් ගහනවයි කියන එකත් දැන් ලේසි දෙයක් යෑ,  උන්ගේ ආච්චිට හාල් ගරන්න රෙද්දේ ආණ්ඩු කෙරුවාව. මේසන් වැඩක් කරපු එකෙක් ඉන්නවායෑ ඕකේ.”

තුන් මහකින් පමණ ගෙදර ගියේද නැත. කදානේ සිට ඇබිළිපිටියට යන ගමන් වියදමද ලේසි පහසු නැත. උදැසන තම නැගණිය ගත් දුරකථන ඇමතුම ඔහුට සිහිවිය. “පුළුවන් නම් ඇවිල්ල යන්ට කියල අම්මා කීවා. කාස්ටකේ හින්දා වගාවත් හේබැවිලා ගිහිල්ල කියල.”

“අත් දෙක වන වනා ගෙදර යන්ට පුලුවනැ. ඇරත් මන් ගියා කියලා ඔය කාස්ටකේ නැතුව යනවායැ. ”

තම මව එන්ට කියන්නේ කාස්ටකේ නැති කිරීමට නොව පුළුවන් නම් කියක් හරි රැගෙන එන ලෙස වැනි යමක් යැයි කියා සිහියට නැගෙන විට ඔහු එම සිත බලෙන්ම යට කරගත්තේය.

තට්ටු දෙකකින් යුතු මේ නිවසේ වැඩ කටයුතු නම් ලහි ලහියේම සිදුවෙයි. නිවසේ අයිතිකාර මහත්තයානම් කිවේ නිවසක් සාදන වැඩ කටයුතු ගැන ලොකු බලාපොරොත්තුවක් නොතිබ්බත් මේ කපු මහත්තයාගේ වැඩ කිඩ නිසා මේ තරම් ඉක්මනින් නිවස සදා ගැනීමට හැකි වූ බවයි.
” මාත් ඒ කපු මහත්තයගෙන් සාස්තරයක් අහන්න පුලුවන්ද කියලා මහත්තයගෙන් අහල බලන්ට  ඕනි”

අසල නිදා සිටි නාදන් දිග සුසුමකින් ලය සැහැල්ලු කර අනික් පස හැරුනේ පැන යන්නට දගලන නින්දට යන්ට නොදී තුරුළු කර ගැනීමට මෙනි. මාස හතරක පමණ බිළිදෙකුගේ පියකු වන නාදන් වතුකරයේ රස්සාවට ආයුබෝවන් කියා මෙහි පැමිණ වැඩි දවසක් ගතව නැත. සිංහල හරි හැටි කතා කිරීමට නොදත් ඔහුට තම හිතේ ගැටළු කීමට තරම් කෙනෙක් තවමත් මෙහි නැත.

“බලා ගෙන යද්දී කොයි කාටත් ප්‍රස්න තමා.. පව් අසරණයා, හෙට උදේටවත් කතා කරලා බලන්ට ඕනි. ”

                     …

පසුදා නිවසේ හිමිකාර මහතා පැමිණි පසු සුදුසු වෙලාවක් බලා සුමනදාස ඔහුට කිට්ටු කොට ,
” මහත්තයත් එක්ක පොඩ්ඩක් කතා කරන්න උන්නේ අර කපු මහත්තය ගැන. ”

“අහ්, මොකද්ද සුමනදාස ?

“මේකයි මහත්තය, අපේ ගේත් හදන්න අරන් දැන් අවුරුදු දෙකකටත් වැඩි. තාම බිත්ති ටික නග්ග ගන්නවත් බැරි උනා. එක ගැන පොඩ්ඩක් අහන්න.”

” අහ් හරි හරි මන් මෙහෙට එක්කන් එනවා කපු මහත්තයව බහිරව පුජාවක් තියෙනවානේ. එදාට අහගන්න බැරියා.”

විදර්ශන කඩවත ප්‍රදේශයේ කපු මහතෙකි. විවාහකයෙක් වන ඔහුගේ බිරිද ඔහු හැර ගොසිනි. ඇය වෙනත් පුද්ගලයෙකු හා දීග කන බව මිනිසුන් කියයි. කපු මහතා නම් කියන්නේ දේවාල වැඩ කටයුතු නිසා ඔහුට ස්ත්‍රී ආශ්‍රය අකැප බවයි.

“හොදයි ද මහත්තය මිනිහගේ වැඩ හැබෑටම ”
” මොනා අහනවද සුමනදාස. ආයේ මම මේ ගෙවල් හදන්න හිටිය මිනිහෙක් ද? අපේ නැතිවෙච්ච අය්යා කෙනෙක් හිටිය ෆෙඩ්රික් කියල මිනිහව බැදගෙන තමා මේ වැඩ ටික ඔක්කොම කපු මහත්තය කරේ.”

“හැබැවටම? ”

“නැතුව, මේ විදියට ගේ හදාගන්න සල්ලි කොහෙන් කොහෙන් හරි හම්බෙනවනෙ අයිසේ සල්ලි නැති උනාම”

“හැබැවටම..කොහෙන් කොහෙන් හරි කිවුවේ මහත්තයෝ. ”

“දැන් බලනවා, ඊයේ ලක්ෂ තුනක් ගෙවන්න තිබ්බා. අතේ තිබ්බේ නෑ සත පහක්. හැන්දවෙද්දී හම්බුනා ලක්ෂ තුනක් පොලියට දෙන තැනකින්. මාසෙට ලක්ෂ තුනටම රුපියල් විසිහතරදහයි දෙන්න කිවුවේ සීයට දහයක් ඕනි නැහැයි කියල. ඔය වගේ තමයි ගොඩක් එහෙන් මෙහෙන් හම්බුවෙච්චා.”

“හැබැවටම? ”

“තමුසේ බය නැතුව ඉන්නවකෝ. එදාට ආපුවම අහනවකෝ තමුසෙම, බලන් හිටිය වගේ කියන් නැද්ද කියල”

මහත්තයා ගිය පසු සුමනදාස නිවසේ බිත්ති බැදෙන ආකාරය දෙස මදක් බලා සිටියේය. තම නිවසෙත් බිත්ති හතර මේ අයුරින් ඉහල යන අයුරු ඔහුට මැවී පෙනින. තම පියාද නැතිවී වසරක් පමණ ගත විය. තමාගේ නිවස සැදීමට තම පියාද කපු මහත්තයට සහය දෙන බවට සැකයක් නැත.

“ඒ සුමනේ, මොකදැ උබ අද වැඩක් කරන්න අදහසක් නැද්ද ?

“මේ එනවා, මේ එනවා”

                                                    …

විදර්ශන කපු මහතා ඇඳ සිටියේ කතරගම දෙවියන් හා සමාන ලෙස වන ඇදුමක්ය. නමුත් ඔහුගේ අතේ ත්‍රිශුලයක් ද විය. මුහුණට යෙදු වත්සුණු කහපාටට හුරු විය. තොල් රතු පාටට සායම් කර ඇති අතර ඇහි බැමි මෙන්ම ඇස් පිහාටු ද කළු පාටට දිගට දිස් විය.

අඩි පහක පමණ කපා තිබුන වලට බට කපු මහතා ආවේස වී නටන්නට විය. ගෙනා පලතුරු සහ තවත් අනෙක විද දෑ එම වලට දැමු ඔහු තැබිලි ගෙඩි හයක් පමණ තම නළලෙහි ගසා කඩා දමමින් එම වලටම දැමුවේය. ඉන් සමහරක් ලපටි ගෙඩි නොවුයෙන් ආවේස වී සිටි කපු මහතාට ආවේගය ගෙන දුන්නේ ය.

“ලපටි ගෙඩි ගෙන්න කිවුවාම, මෝරපුවා උස්සන් ඇවිල්ල මෙතන ” යැයි පවසා නිවෙස් හිමිකාර මහතා දෙස මද වෙලාවක් රවා ගෙන කිපුණු ස්වරුපයෙන් බල සිටියේ ය.

ඉන් අනතුරුව කපු මහතා සිහි සුන්ව වැටිණි. අප කිහිප දෙනෙකු ඔහු ඔසවාගෙන ගොස් වාඩියේ අප නිදා ගන්නා තැන මද වෙලාවක් සැතපුවෙමු. ඔහුගෙ කරට දමා තිබු සළු එක් එක් පාට ඒවා විය. ඔහුගේ සහයට ආ කොලු ගැටයා එම සළු මාරු කරමින් බැලුවේ ඔහුට ඒ වෙලාවේ ආවේස වී සිටියේ කුමන දෙවියන් දැයි ඔහු නොදත් හෙයිනි. මද වෙලාවකට පසු නිවැරදි සළුව ඔහුට ලැබුණි. ඔහු නැවත සිහියට ආහ.

සැබවින්ම ඔහු සිහියට ආවා නොවේ. ඔහුට ආරුඪ වී සිටි දෙවියන් සැබෑ රජ තේජසින් නිදි පියස්සෙන් නැගිට ගත්තේය. මා දිව ගොස් නිවෙස් හිමිකරුට පේන්නට සිට ගත්තේ රාජ තේජසින් ත්‍රිශුලයක්ද අත දරා සිටි දෙවියන් සමග එකවර දිව ගොස් කතා කිරීමට තරම් මට තේජසක් නොවූ හෙයිනි. එය මැනවින් අවබෝධ කරගත් හිමිකරු සෙමෙන්,
“මේ තමයි සුමනදාස, එයාගෙත් මොකද්ද වැඩක් තියෙනවා කර ගන්න’ යැයි යටහත් පහත් ලෙස පැවසිය.

“කෝ මෙහෙට වර ඉස්සරහට….ඉස්සරහට….. , හ්ම්ම්” , මද වෙලාවක් මා දෙස බලා සිටි එතුමා, ” ගෙදර බත් පතට නිතර වැලි වැටෙනවා නේ ? ”

මා කල්පනා කර බැලීමි. එහෙම විනම්බෑසියක් මගේ මතකයේ නැත.

” එහෙම නැ සාදු”

“එහෙම නෑ? ගෙදර නිතර සද්ද බද්ද ඇහෙන්නේ නෑ? ”

මා නැවතත් කල්පනාවක පැටලුණි. ගහකින් ගෙඩියක් වැටෙනවා ඇරෙන්න වෙනත් සද්දයකට ඇත්තේ එක එක ලපයි සිපයි කියන බෙලෙක්ක ටකරන් ගීත රාවය පමණි. ඒවා නම් තම නැගණිය අපේ නිවසට පමණක් ඇසෙන්නට දමන සද්ද නොවේ.  මේ කතා කරන්නේ ඒවා ගැන නොවිය හැකිය. එක අතකින් බැලු කල උන්ට වඩා ප්‍රේතයන් ගේ ගීතයකට සවන් දීමට තිබුණි නම් එය කනට මිහිරි වනු ඇත.

” එහෙම නැ සාදු”

දෙවියෝ සිනා වී හිමිකරු දෙස බැලිය.

” මේ සුමනදසගෙ  ගේ හදන්න  අරන් අවුරුදු දෙකක් වෙනවලු. තාම හදා ගන්න බැරි වෙලා තියෙනවා එකයි. ” හිමිකරු කාරණේ පැවසිය.

“උබ දන්නවද මම මොකද හිනා උනේ කියල ?” යැයි හිමිකරුගෙන් ඇසිය.

“මන් දන්නවා මන් දන්නවා ”

දෙවියන් මා දෙස හැරී, “එක තමයි එක තමයි බෝල මන් කිවුවේ. අමනුස්සයෝ පස් දෙනෙක් ඉන්නවා ගෙදර , පස් දෙනෙක්”

“එහෙමයි සාදු”
“එවුන් පස් දෙනාම එලවන්න ඕනි. එතකන් උබට ගේ හදාගන්න බෑ ”
“එහෙමයි සාදු”
“ගේ පිටිපස්සෙන් ඇළ පාරක් යනවා නේද? ”

මම නැවතත් කල්පනා කර බැලීමි. එහෙම දිය සිරාවක් ලග පාත නැත. වගාවන් කටයුතු සදහා ජලය ලබා ගන්නේද බොහෝ අසීරුවෙනි.

” එහෙම නැ සාදු”
” ගේ පිටි පස්සෙන් වතුර පාරක් යන්නේ නැ”
” එහෙම නැ සාදු”
“එතකොට ගෙයි ඉදුල් වතුර කොහෙන්ද යන්නේ ?
සැබෑය. දෙවියන් ඇළ පාරක් යනුවෙන් කියා ඇත්තේ එය ය.
“එහෙමයි සාදු”
“එක තමා බෝල කියන්නේ ” දෙවියන්ගේ මුහුණට ජයග්‍රාහී සිනාවක් පහළවිය. ඔහු වට පිට බැලිය. පැමිණ සිටි පිරිසද එතුමා දෙස බැතිබර ලෙස බලා සිටි. කඳාන නගරයේ සිට ඈත එපිට ඇබිළිපිටිය ගම දෙස දිවසින් බලා එතුමා කරනු ලැබූ අනාවැකිය සත්‍යකි.
“ඒකට  මොකද කරන්නේ සාදු”
“ප්‍රේතයෝ ටික අයින් කරපිය, වැඩේ කර ගන්න පුළුවන් වෙයි. ”

“එහෙමයි සාදු”

“කියක් විතර යයි ද සාදු? ”
“ලක්ෂ දෙකක් විතර යාවි බෝල ඔක්කොම අඩුම කුඩුම එක්ක. උබට බය වෙන්න දෙයක් නැ හදුන්කුරේ ඉදන් මම ගේනවා. උබ සල්ලි ටික ලෑස්ති කර ගෙන හිටු .”

“ප්‍රේතයෝ ටික කොහෙටද දාන්නේ  සාදු”

“යකෝ මම අරන් යන්නේ. මේ දැනුත් මගේ ඇගේ යක්ෂයෝ පහළොස් දෙනෙක් ඉන්නවා. මම එන්නේ යක්ෂයොත් එක්ක .”
“හැබැවටම,” මට කියැවුණි.

” හැබැවට තමා බෝල, උබට දෙවියෝ විස්වාස නැද්ද? ”

යක්ෂයන් පස් දෙනෙක් හා දෙවිවරු කිහිප දෙනෙකි. හාත් පස වෙනස් කොට්ටාස වුවද යක්ෂයන් හා දෙවියන් කොතරම් සහයෝගයෙන්, සහජීවනයෙන් සිටි දැයි මට සිතිනි. කපු මහතා සැබෑවටම දක්ෂයෙකි.

දෙවියන්ගේ දිගු මොනර පිහාටු වලින් ආශීර්වාදයක් ද ලබා ගත් මා හට මෙතෙක් දවස් දෙසවන් අද්දර රැව් දුන් මහා කාලගෝට්ටියක අවසානය මෙන් නිදහසක් දැනින.

” අද නම් කලින් නිදා ගන්න පුළුවන් ”

මෙතෙක් දවස් නිදා ගැනීමට දෑස් පියා ගත් සුමනදාසට ජිවිතයේ නා නා විධ ප්‍රශ්න බහුවරණ ස්වරුපයෙන් නිරූපණය විය. දැන් ඔහුට ඒ කිසිවක් නැගෙන්නේ නැත.  දැන් ඔහුට නින්දට ගිය පසු කල්පනා කිරීමට ඇත්තේ එක ගැටලුවකි.

” ලක්ෂ දෙකක් කොහොමද හොයන්නේ?

                                              ………..

(එක් සත්‍ය සිද්ධියක් ඇසුරිණි. කෙටි කතාවකට ගැලපෙන ලෙස යම් යම් කරුණු වෙනස් කොට තිබේ. නම් මනඃකල්පිතය. ගම් හා ප්‍රදේශ සත්‍යයි. )

(සියලුම හිමිකම් ඇවිරිණි.)

හිසේ කැක්කුම ගැන ඔබ නොදත් දේ.

මේ ලිපිය බන්දුල කුදලාගම මැතිදුන් විසින් කොමෙන්ටුවක් වශයෙන් පළ කරන ලද්දකි. එහි සම්පුර්ණ අයිතිය එතුමා සතුය. එතුමාගේ පූර්ව අවසරයකින් තොරව  උපුටා ගත්තක් වන මෙය හුදී පාඨකයන්ට කියවා දැනුවත් විය හැකි ලියවිල්ලක් වන නිසා නැවත පළ කරමි.

හිසේ කැක්කුම යනු අතිශය වැදගත් රෝග ලක්ෂණයකි. හිසේ කැක්කුම සඳහා වෛද්‍යවරයකු වෙත පැමිණෙන රෝගියකුගේ සායනික විස්තරය එම රොගියාගේ වෛද්‍ය විද්‍යාත්මක ගැටලු විසඳීමේ දී තීරණාත්මක ය.

හිසේ කැක්කුම විවිධ හේතු නිසා ඇති විය හැකි ය. එය කිසියම් මානසික පීඩාවක් වැනි හේතුවක සිට හිසේ/මොළයේ අභ්‍යන්තරයේ රුධිර ගැලීමක් දක්වා වූ විවිධ හේතු නිසා ඇති විය හැකි ය. එනිසා හිසේ කැක්කුම විවිධාකාර ය.

ඇතැම් හිසේ කැක්කුම් වෙනත් රෝගාබාධයකට හේතු ප්‍රකාර ව සම්බන්‍ධ නො වී ඇති වන හිසේ කැක්කුම් ය. ඒවා ප්‍රාථමික හිසේ කැක්කුම් නම් වේ. ප්‍රාථමික හිසේ කැක්කුම් බොහෝමයක් සැලකිය යුතු ග්ලාන්‍යයකින් (රෝගාතුර භාවයකින්) යුක්ත ව සාමාන්‍ය දිවි පෙවෙතට බාධා කරයි. ප්‍රාථමික හිසේ කැක්කුම් කීපයක් මෙසේ ය:

පීඩනයක/තදවීමක ආකාරයේ හිසේ කැක්කුම (tension-type headache)

ඉරුවාරදය (migraine)

සමූහයක් ලෙස කලින් කල ඇති වන හිසේ කැක්කුම (cluster headache)

හිසේ සහ මුහුණේ එක පැත්තක පමණක් වරින් වර ඇති වන තීව්‍ර හිසේ කැක්කුම හෙවත් පාරාශිතීය අර්ධකපාල හිසරදය (paroxysmal hemicrania)

ඇතැම් හිසේ කැක්කුම් වෙනත් රෝගාබාධයකට හේතු ප්‍රකාර ව සම්බන්‍ධ වී ඇති වන හිසේ කැක්කුම් ය. ඒවා ද්විතීක හිසේ කැක්කුම් නම් වේ. ද්විතීයීක හිසේ කැක්කුම් බොහෝමයක් සැලකිය යුතු මර්ත්‍යතාවකින් (මාරාන්තික භාවයකින්) යුක්ත ව රෝගියාගේ ජීවිතයේ පැවැත්මට බාධා කරයි. ද්විතීයීක හිසේ කැක්කුම් කීපයක් මෙසේ ය:

ආසාධන නිසා ඇති වන හිසේ කැක්කුම (headache secondary to systemic infections)

හිසට සිදුවන අනතුරු නිසා වන හිසේ කැක්කුම (headache secondary to head injury)

රුධිර වාහිනීවල අසාමාන්‍යතා නිසා ඇති වන හිසේ කැක්කුම (vascular headache)

මොළය සහ හිස්කබල අතර ඇතුලතින් ඇති උපඇරැක්නොයිඩ අවකාශයට රුධිරය වහනය වීම නිසා ඇති වන හිසේ කැක්කුම (headache secondary to subarachnoid haemorrhage)

මොළයේ ගෙඩි (පිළිකා හෝ පිළිකා නො වන) නිසා ඇති වන හිසේ කැක්කුම (headache secondary to brain tumours)

බොහෝමයක් සුලබ හිසේ කැක්කුම් මාරාන්තික නො වේ. එසේ වුව ද දුලබ මාරාන්තික හිසේ කැක්කුම් අප විසින් නො සලකා හළ යුතු නැත. රොගියකුගේ හිසේ කැක්කුමක් ඇගයීමේ දී එකී හිසේ කැක්කුම ඔහුගේ ජීවිතයට හානිදායක හිසේ කැක්කුමක් වන්නේ ද එසේ නොවන්නේ ද යන්න සායනික වෛද්‍යවරයා විසින් අනිවාර්යයෙන් ම නිර්ණය කළ යුතු ය. පීඩනයක/තෙරපුමක ආකාරයේ හිසේ කැක්කුම් හෝ ඉරුවාරදය හෝ සුලබ මාරාන්තික නො වන හිසේ කැක්කුම් වුව ද සෑම හිසේ කැක්කුමක් ම එකී මාරාන්තික නො වන හිසේ කැක්කුම් ලෙස සලකා ⁣නොවිමසිලිමත් ව කටයුතු කිරීම අඥානකමකි.

කිසියම් රෝගියකුගේ හිසේ කැක්කුම,

තම ජීවිත කාලයේ අත්විඳි නරක ම හිසේ කැක්කුම ය යි ඔහු/ඇය පවසයි නම් හෝ

එසැණ මතු ව එසැණින් (තත්ත්පර හෝ මිනිත්තු හෝ කීපයක් ඇතුලත) ඉතා තීව්‍ර වේදනාවක් බවට පත් වූයේ ය යි ඔහු/ඇය පවසයි නම් හෝ

මඳ පීඩාවකින් හෝ දැඩි ව්‍යායාමයනින් හෝ කැස්සකින් හෝ යම් බරක් එසවීමෙන් ⁣හෝ පසු ව හට ගනී ය යි ඔහු/ඇය පවසයි නම් හෝ

ඉහළ තීව්‍රතාවකින් යුක්ත ව උණ සහ ගෙල ප්‍රදේශයේ මාංශ පේශීවල තද ගතියක් සමඟ පවතී යයි ඔහු/ඇය පවසයි නම් හෝ

තීව්‍ර ලෙස ඇති වී ඒ සමඟ වික්ෂිප්තභාවයට පත්වීමක්, චර්යාව වෙනස්වීමක්, වලිප්පුව සෑදීමක් ආදී රෝගලක්ෂණ සමඟ පවතී නම් හෝ

අභිනවයෙන් හට ගන්නේ ශරීරයේ යම් අංගයක දුර්වලතාවක්, හිරිවැටීමක් හෝ ⁣දෘෂ්ටියේ බාධාවක් සමඟ සම්බන්‍ධ ව නම් හෝ

එම හිසේ කැක්කුම ඉතා බැරෑරුම් ලෙස සැලකිය යුතු ම ය. ඉහත කරුණුවලට අමතර ව යම් පුද්ගලයකුගේ,

පළමු වැනි තීව්‍ර හිසේ කැක්කුම,

වයස අවුරුදු 55 කට පමණ වැඩි වියේ දී හට ගන්නා හිසේ කැක්කුම,

හිසේ යම් නිශ්චිත ප්‍රදේශයක් ස්පර්ශ කළ විට වේදනාව දැ⁣නීමක් සහිත ව හට ගන්නා හිසේ කැක්කුම,

නින්දට බාධා ඇති වී නින්දෙන් අවධි වන විට තීව්‍ර ලෙස පවතින හිසේ කැක්කුම

ආදිය ද දැඩි අවධානයට ලක් විය යුතු හිසේ කැක්කුම් ය. මක් නිසා ද යත් එවැනි හිසේ කැක්කුම් දරුණු/මරාන්තික රෝග තත්ත්වයන් සමඟ බැඳී තිබිය හැකි නිසා ය.

මෙහි දී මම තවත් කරුණක් පවසනු රිසියෙමි. හිසේ අභ්‍යන්තරයේ රුධිර වහනක් සිදුවීම නිසා හට ගන්නා ඉතා භායානක හිසේ කැක්කුම්වල දී ඛන්තු රේඛන සටහනේ (Electrocardiogram – ECG) කිරීටක ධමනි අවහිරතාව නිසා හෝ හෘදයේ ස්පන්දනය අක්‍රමිකතා නිසා හෝ ඇති විය හැකි ආකාරයේ වෙනස්කම් ද නිරීක්ෂණය කළ හැකි ය. මෙවැනි සංකීර්ණ අවස්ථාවන් කළමනාකරණයේ දී මනා දැනුමක් ද සායනික කුසලතාවක් ද අත්දැකීම් ද අවශ්‍ය ය. සායනික වෛද්‍යවරුන් එම ගුණාංග සම්මත ලෙස ප්‍රගුණ කර තිබිය යුතු ය.

යම් ලෙසකින් දැඩි හිසේ කැක්කුමක් සහිත ⁣රෝගියකු කිරීටක ධමනි අවහිරතාවකින් හෘදයාබාධ තත්ත්වයක් (සත්‍ය ලෙස ම) හට ගෙන ඇති ලෙස සලකා කටයුතු කිරීම විමසිලිමත් ව කළ යුතු දෙයකි. මක් නිසා ද ඇතැම් විට එම රෝගියාට දෙනු ලබන ප්‍රතිකාර නිවැරදි ව රුධිර කැටි ගැසීම අඩු කරන හෝ සෑදුණු රුධිර කැටි දිය කර හරින හෝ ඖෂධ වන නිසාත්, යම් හෙයකින් දැඩි හිසේ කැක්කුමට හේතුව හිසේ අභ්‍යයන්තරයේ රුධිර වහනයක් වී තිබුණේ නම් එම තත්ත්වය පෙර කී ප්‍රතිකාර මගින් ඉතා දුස්සාධ්‍ය තත්ත්වයකට පත් විය හැකි නිසාත් ය. අප වටහා ගත යුතු වැදගත් කරුණක් නම් යම් හිසේ කැක්කුමක් තිබූ පමණින් ම හෘදයාබාධ තත්ත්වයකට ප්‍රතිකාර නො කර සිටිය යුතු නැති බව ය. ඇතැම් හෘදයාබාධ ඇතැම් රොගීනට කිසිදු හෘද වේදනාවක් නොමැති ව ද හට ගත හැකි බව සිහි තබා ගත යුතු ය. එසේ නම් සැලකිය යුතු ආකාරයේ හිසේ කැක්කුමක් ඇති අවස්ථාවක දී ම ප්‍රතිආතංචක (රුධිර කැටි ගැසීම වළක්වන) ප්‍රතිකාර දිය යුතු රෝග තත්ත්වයක් ද පවතී නම් වඩා සුදුසු සම්මත ක්‍රමය CT පරීක්ෂණයක් සිදු කර හිස අභ්‍යන්තරයේ රුධිර වහනයක් තිබේ ද නොතිබේ ද යන්න නිෂ්චිත කර ගැනීම ය. හිසේ කැක්කුම පිළිබඳ රෝගියාගේ දුක්ගැනවිල්ල නො සලකා හැර කටයුතු කළ හොත් මෙවැනි කරුණු පිළිබද අවධානය යොමු නො වේ. වෛද්‍යවරු රෝගියාට මනා ව සවන් දීමට පුරුදු විය යුත්තේ එනිසා ය.

මම තවත් කරුණු කීපයක් පවසමි:

හිසේ කැක්කුම සඳහා ප්‍රතිකාරයට පැමිණෙන සියලු රොගීනට CT පරීක්ෂණ කළ යුතු නැත. එය වැරදි වෛද්‍ය ව්‍යවහාරයකි. CT පරීක්ෂණ යනු ඉතා ඉහළ විකිරණ ප්‍රමාණයකට රෝගියා නිරාවරණය කෙරෙන පරීක්ෂණ වර්ගයකි. එය අත්‍යවශ්‍ය රෝගීනට පමණක් කළ යුතු ය. නිසි රෝගියා තෝරා ගැනීමට වෛද්‍යවරයාට සමත්කම තිබිය යුතු ම ය.

ඇතැම් අවස්ථාවල හිසේ අභ්‍යන්තරයේ රුධිර වහනයක් නොමැති රොගීනට පවා කිරීටක ධමනි අවහිරතාවෙන් හට ගන්නා හෘදයාබාධවලට ප්‍රතිආතංචක (රුධිර කැටි ගැසීම වළක්වන) ප්‍රතිකාර දිමෙන් පසු හිස අභ්‍යන්තරයේ රුධිර වහනයක් සිදුවිය හැකි ය. මෙය කලාතුරනින් සිදුවන ප්‍රතිකාර සංකූලතාවකි. එය වෛද්‍යවරු සිතා මතා කරන අකටයුත්තක් නො වේ. හෘදයාබාධය නිසා මිය යන රෝගියා බේරා ගැනීමට කළ යුතු නිවැරදි ප්‍රතිකාරය, නිවැරදි ආකාරයෙන්, නිවැරදි රෝගියාට ම සිදු කරන විට ද පැන නැඟිය හැකි මෙවැනි අවාසනාවන්ත තත්ත්ව දෙස අපි අවබෝධයෙන් බැලිය යුතු ය.

ඇතැම් භයානක හිසේ කැක්කුම්වලට හේතු වන හිස අභ්‍යන්තරයේ සිදුවන රුධිර වහන, නිදසුන් ලෙස: මොළය සහ හිස්කබල අතර ඇතුලතින් ඇති උපඇරැක්නොයිඩ අවකාශයට රුධිරය වහනය වීම්වල දී (subarachnoid haemorrhage -SAH) CT පරීක්ෂණය කරන අවස්ථාවේ දී (පමා වී නම්) රුධිර වහනයක් වී ඇති බවට CT පරීක්ෂණමූල සාධක නොපැවතිය හැකි ය. එවැනි අවස්ථාවල සායනික ඉතිහාසය ඉතා බැරූරුම් ද CT පරීක්ෂණයේ අවකාශ අදිවසන දෝෂ (ගෙඩි හෝ තරල එකතුවීම් ආදිය) නැති නම් ද වෙනත් බාධා නැති නම් ද කටී ප්‍රදේශය (කොන්ද) විද සුෂුම්නා තරලය ගෙන රුධිර වහනයක් සිදු ව ඇති ද යන්න සම්පරීක්ෂා කරන්නට ද සිදු වේ. එසේ කළ යුතු ද යන තීරණයට එළඹෙන්නට රෝගියාගේ සායනික ඉතිහාසය ඉතා වැදගත් ය. කිසියම් රෝගියකු තම හිසේ කැක්කුම තම ජීවිත කාලයේ අත්විඳි නරක ම හිසේ කැක්කුම බව ද එය ය⁣මකු තම හිසට මුඟුරකින් ගැසූ කලෙක මෙන් හෝ අකුණක් ගැසූ ලෙස හෝ එසැණ මතු වූ ඉතා දැඩි ව දැනුණු හිසේ කැක්කුමක් බව ද පවසයි නම් එම සායනික ඉතිහාසය කිසි සේත් නො සලකා හළ යුතු නැත. ඒ වූ කලී මොළය සහ හිස්කබල අතර ඇතුලතින් ඇති උපඇරැක්නොයිඩ අවකාශයට රුධිරය වහනය වීම්වල දී (subarachnoid haemorrhage -SAH) ඇති විය හැකි හිසේ කැක්කුමේ සුවිශේෂී ලාක්ෂණයකි. එවැනි රෝගීන් වැඩිදුර පරීක්ෂණ සඳහා යොමු කළ යුතු ය. ඇතැම් විට එලෙස මතු වූ රුධිර වහනය වීම් යම් කාලයකින් ශමනය විය හැකි වුවත් පරීක්ෂණ සිදු කළ යුතු ය. මක් නිසා ද පළමු ව ඇති වූ පෙර කී ආකාර හිසේ කැක්කුමක් දෙවනු ව ඇති විය හැකි මාරාන්තික රුධිර වහනයක පෙර දැනුම් දීමක් විය හැකි නිසා ය. අප එකී අග්‍රේසර හිසරදය (herald headache) නො සලකා හැරීම බුද්ධිගෝචර නො වේ.

ඉතා සංකීර්ණ සායනික රෝග තත්ත්වවල දී පවා හානිය අවම වන ලෙස තීන්දුතීරණ ගෙන ප්‍රතිකාර කිරීම සඳහා නිසි ක්‍රියාපටිපාටි, ක්‍රියෝපදේශනමාලා පවතී. කායික වෛද්‍යවරු පුහුණු කිරීමේ දී ඔවුනට සංකීර්ණ සායනික ගැටලු ප්‍රශස්ත ලෙස විසඳන ආකාරය මනා ව පුහුණු කෙරේ. යම් සංකීර්ණ ගැටලුවක් පිළිබඳ නිසි තීරණ ගැනීම කනිෂ්ඨ වෛද්‍යවරයකුට අපහසු විය හැකි වුව ද ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයකුට අපහසු වන්නේ නැත. ශික්ෂණ රෝහලකට ඇතුළු වන රෝගියකු ඇතුලත් කිරීමේ වෛද්‍ය නිලධාරියාගේ සිට ප්‍රාථමික/හදිසි ප්‍රතිකාර ඒකකයේ වෛද්‍යවරුන් ඔස්සේ වාට්ටුවේ සීමාවාසික නේවාසික වෛද්‍ය නිලධාරියා, ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍ය නිලධාරීන්, ‍ලේඛකාධිකාරීන්, ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරීන් සහ විශේෂඥ වෛද්‍යවරයා/වෛද්‍යවරු දක්වා ධුරාවලීය වෛද්‍ය පිරිසක් විසින් පරීක්ෂා කෙරේ. 

සෑම මනුෂ්‍ය ජීවිතයක් ම මනුෂ්‍යයකු වීම නිසා ම එක හා සමාන ව වැදගත් ය. වෛද්‍ය විද්‍යාවේ සියලු අභිවර්ධනයන්ගේ ඒකායන අරමුණ ඒ සා වැදගත් සියලු මනුෂ්‍ය ජීවිත හැකි උපරිමයෙන් රැක ගැනීම ය.

රාගම රෝහලේ තිරිසන් වෛද්‍යවරු

මිට සති 2කට පමණ පෙර මොලේ ලේ ගැලීමක් නිසා (ඒ බව නොදැන) රාගම රෝහලට ඇතුලත් කල රෝගියෙකු ඊට දින 4කට පමණ පසු කොළඹ ජාතික රෝහලට මාරු කර යැවුනා. රාගම රෝහලට ඇතුලත් කරන විට හොද තත්වයේ සිටි එම රෝගියා අමාරුකමක් ලෙස කියා තිබුනේ දැඩි හිසේ කැක්කුමක් තිබෙන බව පමණි. රෝහලට ඇතුලත් කිරීමෙන් දින කිහිපයකට පමණ පසු දැඩි ලෙස වමනය දැමීමට පටන් ගෙන ඇති අතර ඒ බව වෛද්‍යවරුන්ට පැවසූ විට කියා ඇත්තේ ‘ඒ දීපු බෙහෙත් වලට වමනය යන’ බවයි.

මොලේ ලේ ගැලීමක් තිබියදී ඒ බව හාන්කවිස්සියක්වත්  නොදැන සිටි වෛද්‍යවරුන් සත්කාර කොට ඇත්තේ හදවතේ ආකුලතාවකට බව ඥාතීහු පවසති. බොහෝ අසාද්‍ය වූ රෝගියා ඊට දින 3කට පමණ  පසු ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කොට දිනක් ගත වීමට ප්‍රථම මිය ගොස් තිබිණි. ජාතික රෝහලේ වෛද්‍යවරු පවසා තිබුනේ තව දිනකට හෝ පෙර රැගෙන අවේ නම් රෝගියා ජිවත් කරවීමට හැකි විය හැකි බවයි.

රාගම රෝහලේ වෛද්‍යවරුන්ගේ වෘත්තීය නොසැලිකිලිමත් කම නිසා මියගිය පළමු සහ අවසාන රෝගියා ඔහු නොවේ. තවත් මෙවැනි ජිවිත කියක් නම් මෙවැනි තිරිසන් වෛද්‍යවරුන් නිසා ශරීර හැර යයිද යන්න අපට කිව නොහැකිය.

කුඩා දරුවන් සිටින දුප්පත් මවකට තම ස්වාමිපුරුෂයා මේ ලෙස අහිමිව ගියේ නම්, තම පවුලේ එකම දරුවා අසරණ දෙමාපිය යුගලකට මෙලෙස අහිමිව ගියේ නම්, ඔවුන්ගේ ඉරණම කුමක් විය හැකිව තිබුනේ ද ?

පොතේ දැනුම මත පදනම්ව න්‍යාය ධර්ම කට පාඩම් කොට ප්‍රයෝගික පුහුණුව ලැබූ මේ මිනිසුන්ට සාහිත්‍ය, සමාජ ධර්ම, ඉතිහාසය හා සමාජ වගකීම් පිළිබද මෙලෝ අවබෝධයක් නැති වීමෙන් මිනිස් ගති ලක්ෂණද පරිහානියට පත් වී ඇත සෙයකි. රජයේ රෝහලක වැඩ කිරීමට සිදු වීම වෛද්‍යවරුන් ලෙස ඔවුන් ලැබූ දඩුවමක් ලෙස ඔවුන් සිතනවා ඇති.

වෘත්තීය, ආචාර ධර්ම හා නිතිය මෙහිදී කුමන ආකාරයට හැසිරුනද, ස්වභාවධර්මයාගේ දඩුවම මෙවැනි අමානුෂික මිනිසුන් කෙරෙහි කිසියම් දිනක හෝ ලැබෙනු ඇති.

සොරකමක් නොවෙන සොරකමක්.

තමුන් සතු දෙක අනෙක් අය හට බෙදා දීමෙන් තමුන්ට ඉතිරි වන්නේ 0කි. ඒ ගැන විමල් විරවන්සට හොද අවබෝධයක් තිබිණි. 2න් 2ක බෙදු විට 0යි කියන්නේ ඒ නිසාය. අමාත්‍යංශය සතු වාහන 40ක් ඔහු ඔහුගේ භාවිතයට යොදා ගත්තේ නැත. ඒවා සියල්ල අනෙක් අයගේ උවමනාවන් පියවීම සදහා යොදා ගන්නට අවසර දී තිබේ. ඔහු ඒවා ලබා දීමේදී රජයේ සේවකයන්ද, නොවේද , ඥාතීන් ද නොවේද යන්න විමසා නැත. රැකියාවන් කරන්නන්ටද නොකරන්නන්ටද වෙනසක් නොකර ඒවා පරිහරණයට ලබා දී තිබේ. ඔහු කර ඇත්තේ සමාජ සේවයකි.

ඔහු හිටපු නිවාස  හා ඉදිකිරීම් අමාත්‍යවරයා පමණක් නොව දෝෂාභියෝග කමිටුවේද සාමාජිකයෙක් වී හිටපු දුෂිත අගවිනිසුරුවරියක වූ ශිරාණි බණ්ඩාරනායක ඉවත් කිරීමටද දායක වී ඇති වැදගත් කාර්යභාරයක් කල අමත්‍යවරයෙකි. හරි වැරැද්ද කුමක් දැයි ඔහු හොදින් දනී.

හිටපු වීරවංස අමාත්‍යතුමා හොද කථිකයෙකි. එය ඔහුට පමණක් උරුම වී පැමිනියක් නොව ඔහුගේ පවුලේ සියලු දෙනාටමත් ඇති කථිකත්වයක් බව ඔහු අත්අඩංගුවට පත් වූ දිනයේදී ප්‍රදර්ශනය විය. විමල්ගේ නෑනා කෙනෙකු කතා කල අන්දමින් ඇයද කොතරම් දක්ෂ කථිකත්වයක් ඇති කාන්තාවක්ද යන්න අපට හොදින් අවබෝධ විය. ඉදිරියේදී ඇය ජාතික නිදහස් පෙරමුණෙන් මැතිවරණයට තරග කලද එය පුදුම වීමට හේතුවක් නොවේ. ඇයටද මේ රටේ ප්‍රගතිශීලි බුද්ධිමත් ජනතාව තම වටිනා ජන්දය භාවිතා කරනු නියතය.

වීරසන්ගිලි පනික්කියලගේ පොඩිනෙරිස් නැටුම් ගුරුතුමාට දාව 1965 ඉපදුනු විරසන්ගිලි පනික්කියලගේ විමලසේන තම දිනිදු පවුල ගොඩ ගත් වීරයෙකි. ඉතා උනන්දුවෙන් රට වෙනුවෙන් සේවය කරමින් ජාතිමාමකත්වය, දේශප්‍රේමය ජනතා සිත් තුල තැම්පත් කරමින් වෙහෙස මහන්සි වී තම දුපත්කම ට එරෙහිව දිරිමත්ව නැගී සිටි එතුමා දැන් බොහෝ වත්කම් උපයාගෙන ඇත්තේ තම දිරිය සහ ආත්ම විස්වාසය ගැන අපට බොහෝ පාඩම් කියා දෙමිනි.

මහා සංඝරත්නයේ පිරිත් සජ්ජායනා මැද කරවටක් පිරිත් නුල් ද සමගින් අත්අඩංගුවට පත් එතුමාට ආශීර්වාද කලේ සොරකමටද, අත්අඩංගුවට පත් වීම නිසාද යන්න මට ඇති ප්‍රශ්නයකි.

උසාවි නියෝගය සහ හම්බන්තොට උද්ඝෝෂණය

1055332757hambantotaලී කොන් යු ලියු The Singapore Story නම් පොතේ ශ්‍රී ලංකාවේ ඉතිහාසය හා ගනු ලැබූ දේශපාලන තීන්දු ගැන විස්තරයක් තිබේ. එම විස්තරය අවසානයේ ඔහු අපුරු වාක්‍යක් සදහන් කර තිබිණ.
“It is sad that the country whose ancient name Serendip has given the English
language the word “serendipity” is now the epitome of conflict, pain, sorrow and hopelessness.”
අතීතයේදී ශ්‍රී ලංකාව හැදින්වීමට Serendip යන නාමය භාවිතා කළහ. නමුත් වර්තමානයේ පවතින බලාපොරොත්තු රහිත, දුක්ඛදායක, වේදනාකාරී සහ එකිනෙකාට විරුද්දව ගැටුම් ඇති කර ගන්නා තත්ත්වය මත serendipity (ඉරණම) විය යුතු බවයි.

ශ්‍රී ලංකාවේ එතෙක් මෙතෙක් බිහි වූ කිසිඳු නායකයෙකු තමුන්ගේ ගොඩ වඩා ගැනීම සහ බලය රැක ගැනීම මිස, රට ගැන හෝ රටේ දියුණුව ගැන කිසිදා සිතුවේ නැත. බලය හමුවේ අන්ද මන්ද වන නායකයන්ට නිවැරදි තීරණ ගත නොහැක. එදා මෙදා තුර ගන්නා ලද බොහෝ වැරදි තීරණ නිසා බොහෝ මිනිසුන්ට දුක්ඛදායක, වේදනාකාරී ඉරණම් වලට නතු වීමට සිදු විය.

පක්ෂ බේදයකින් තොරව දැන් වන්නේ ද එයයි. කිසියම් කෙනෙකු රට සංවර්ධනය කිරීමට දායක වන්නේ නම් අනෙක් පාර්ශවය සිතන්නේ එය තමාගේ පරාජයක් බවයි. හම්බන්තොට සිදුවන ව්‍යපෘති වාසිදායක හෝ අවාසිදායක බව මා මෙහිදී නොපවසමි. එහි පවතින වාසිදායක බව හෝ අවාසිදායක බව ගැන මා නිවැරදිව කරුණු කීමට නොදනී. ඊයේ උද්ඝෝෂණයට පැමිණි උදවියද එය ගැන හරි හැටි අවබෝධයක් තිබී යැයි මා සිතන්නේ නැත. නමුත් ලංකාවට සියයට සියක් හිතකර ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වුවද එයට විරුද්දව සටන් කරන අයනම් නොසිටිය නොහැක.

නමුත් මා හට පැවසීමට අවශ්‍ය වුයේ මෙය නොවේ. මෙය දේශපාලන පක්ෂ විසින් සංවිධානය කර පැවැත්වූ උද්ඝෝෂණයකි. නාමල්, ඩලස්, ශෂේන්ද්‍ර, ගම්මන්පිල, වැන්නන්ගේද ( කිසිම දේශපාලකයෙකුට මහතා යන්න භාවිතා නොකර ලිවීමේ ප්‍රතිපත්තියක් මා තුල පවතී. 6වෙනිදා ලක්බිම පුවත්පතට අනුව පුද්ගලයෙකු ඝාතනය කර සිර දඩුවම් විදින දුමින්ද සිල්වා, මහතෙකු වුයේ කෙසේද යන්න මා නොදනී. එක්තරා පුද්ගලයෙකු මගෙන් ඇසු පැනයකට පිළිතුරකි.)
සහභාගිත්වය පැහැදිලිව ප්‍රදර්ශනය වුනි. එසේ තිබියදී වෙනත් පුද්ගලයින් පමණක් අත්අඩංගුවට පත්වුයේ කෙසේද? උසාවි නියෝගය බල පවත්නේ ඔවුන්ට පමණක් ද ?

අධිකරණයේ උතුරු දිශාව මේ බලවත් පුද්ගලයන්ගේ දකුණු දිශාවට සම්බන්ධ ද ?

නාවුක හමුදාපතිවරයාගේ කොට කලිසම් නිළ ඇදුම

පුජිත ජයසුන්දරට අනුව නම් පොලිසිය හිතුවක්කාරය. නමුත් අප අද කතා කරන්නට යන්නේ පුජිත ජයසුන්දරගේ “හිතුවක්කාර පොලීසය” ගැන නොවේ. නාවික හමුදාවේ “පති” ගැනය.
පුජිත ජයසුන්දර මාධ්‍ය ඉදිරියේ ඇද ගෙන නාගෙන වැඩි දවසක් ගියේ නැත. දැන් නාවික හමුදාපති නා ගනිමින් සිටි. ලංකාවේ “පති” ලා මාධ්‍ය ඉදිරියේම නා ගැනීමට ඇති කැමැත්ත මට  නම් ප්‍රහේලිකාවකි.

රටේ වැඩ වර්ජන හා උද්ඝෝෂණ පැවතිය යුතු ආකාරය ගැන අපට විවේචන ඇත. ඒ කෙසේ වෙතත් හම්බන්තොට වාරයේ නැව් ගමන් කරන්නේ අවුරුද්දකට ඇගිලි ගණනටත් වඩා අඩුවෙනි. ඒ නැවු වලටද ගමන් කිරීමට බාධා කරමින් වර්ජනයේ නියැලීම නිවැරදි නොවන බව අපගේ පිළිගැනීමයි. නමුත් නාවුක හමුදාපතිවරයාගේ හැසිරීම වර්ජනයේ නියැළුන මිනිසුන්ට වඩා පහත්ය. සිය වෘත්තීය තත්වයට නොගැලපෙයි. නාවුක හමුදාවේ  වෘත්තීයභාවය ඇසිල්ලකින් කුණු කුඩයකට ඇද දැමීමට හැකි හමුදාපතිවරයෙකු එම තත්ත්වයේ සිටිය යුතු නැත.

මෙවැනි උද්ඝෝෂණයක් මැඩ පැවැත්වීමට නාවික හමුදාපතිවරයාටම එම ස්ථානයට යාමට තිබු උවමනාව කුමක් ද ? නිරායුධ පිරිසක් ඉදිරියට නාවික හමුදාපතිවරයාට යන්නට තිබුන උවමනාව අවි ගත් ත්‍රස්ත පිරිසක් සිටියේ නම් එවිටත් පවතීද යන්න සැක සහිතය.

වෘත්තීය හික්මීමකින්, අවස්ථාවට උචිත බුද්ධියෙන් කටයුතු කල යුතු තැනදී කිපුණු ප්‍රමත්ත හැසිරීමකට හේතුව කුමක් ද ?

ජනමාධ්‍යවේදීන් ද හැසිරෙන ආකාරය පිලිබද විවේචන පවතී. ජනමාධ්‍ය ආයතන පිළිබදවද එය එසේමය. බලු කුණත් විකුණගෙන කා හැකි නම්, එයද කිරීමට නොපැකිලෙන ජනමාධ්‍යක්  පැවතීම එහි ගෞරවයට හේතු නොවේ.  නමුත් එය මර්ධනය මගින් පිටු දැකීම අපට අනුමත කල නොහැක.

එම වර්ජනවල දේශපාලන පසුබිම කුමක් වුවත් , තමුන්ගේ තනතුරට, හමුදාවේ ගරුත්වයට, හානි වන ආකාරයට තීන්දු තීරණ ගැනීමට කිසිවකුට අයිතියක් නැත. ඔහු නැති කර ගත්තේ තමුන්ගේ ගෞරවය පමණක් නොවේ. අනාගතයේදී එම තනතුරට පත් වන නිලධාරීන්ගේත් ගෞරවය යි.  මෙම ක්‍රියාව වෙනත් මැදි නිලධාරියකු කලේ නම් දැන් මෙහි පසුබිම කුමක් විය හැකිද?

නාවික හමුදාපතිවරයා තමුන්ගේ රටේ රට වැසියන්ට මෙසේ සලකනවානම්, අනෙක් නිලධාරීන් තමිල්නාඩුවේ සිට පැමිණෙන ධීවරයන්ට කෙසේ සලකනවා ඇද්දැයි, ඔවුන්ට තර්ක කිරීමට නුපුලුවන්ද ?

ආරක්ෂක ලේකම්වරයාද පවතින රූප රාමු පෙනී පෙනී පහරදීම ප්‍රතික්ෂේප කිරීම අදුරු රාජපක්ෂ යුගය නැවත මතක් කරවයි.

මහින්ද රාජපක්ෂ යුගයට අප නැවත යා යුතු නැත. කවුරුන් හෝ එම පහර දීම සාධාරණිකරණය කරනවානම් ඔහුද එම වගකීම දැරිය යුතුය.

දේශපාලන සොරකම්, පුරවැසියන් හා ශ්‍රී ලංකාව.

දුම්රිය ගාස්තුවෙන් 1/3 ගෙවා රාජ්‍ය සේවකයෝ කාර්යාලවලට යති. එහි ගොස් තමුන්ගේ පුද්ගලික  වැඩ රාජකාරි සියල්ලක්ම පාහේ  කර ගනිති. ප්‍රමාද වී ගොස් කලින් වෙලාවක් දමති. තමන්ගේ අත්සන තමුන්ට වැඩිය හොදට දමන්නෙක්ට කියා ගස්සවා ගනිති.  දුරකථන ඇමතුම්, පුවත්පත්, පරිගණක ක්‍රීඩා සියල්ලක්ම පරිහරණය කරති. කාර්යාල වේලාව අවසන් වනතෙක් අලස කමින් කාලය කා දමමින් හිද කිසිවක් නොකර ගෙදර යති. කාර්යක්ෂමතාව ඉහල දැමීමට හෝ වෙනත් පරිපාලන වෙනස්කම් කිරීමට සැරසෙන විට එය තමන්ට ගැලපෙන්නේ කෙසේද යන්න දහ අතේ කල්පනා කරති. අමතර දීමනාවක් සොයා ගැනීමට එය බාදාවක් වන විට වර්ජන, උද්ඝෝෂන  හා පෙළපාලිය. කම්කරුවන් මත් පැන් පානය කොට රාජකාරි කරති. නියමිත පරිදි රාජකාරිය නොකොට ඔවුන් වැටුප, මහජනයාගේ බදු මුදල් සොරා ගනිති. නියමිත පරිදි මහන්සි වී වැඩ කරන්නේ පොලිසිය හා රේගු  නිලධාරින්ය. ඔවුන් මහන්සි වී වැඩ කරන තරමට පළ නෙළති.

පෞද්ගලික අංශයේ සේවකයන් ඔවුන්ට වඩා මහන්සි වී වැඩ කරති. දුම්රියේ තුන්වෙනි පන්තියේ සිර වී රැකියාවට එති. කාර්යාලයේ මුද්‍රණ කොළ, පැන්, පැන්සල්, නිවෙස් වලට රැගෙන යති. බොරු බිල් පත් යොදා ආයතනයෙන් මුදල් ලබා ගනිති. ආයතනයේ මිලදී ගැනීම් වලින් කොමිස් මුදල් ලබා ගනිති. අභ්‍යන්තර පාලනයේ දුර්වලතා සොයාගෙන ඒවායින් රිංගා යති.

වෙළෙදුන් කූට උපක්‍රම භාවිතා කරමින් මහජනයා ගසා කති. ශරීර වලට හානිකර ලෙස අහාර සපයා මුදල් ගනිති. ඉතුරු වන සිල්ලර මුදල් පාරිභෝගිකයාට නොදී සොරකන් කරති. පාරිභෝගිකයා වැඩි පුර අහාර ගෙන අඩු ගණනකට ගෙවීම් කරති. වැරදීමකින් හෝ වැඩිපුර දෙන ඉතිරි කාසි සාක්කුවටම දමා ගනිති.

බස් මගින් බස් වල මුදල් නොදී යන්නටම වැයම් කරති. කොන්දොස්තරවරු ඉතිරි රුපියලත් නොදී ඉන්නටම වැයම් කරති. ඉතිරි කාසි බහිද්දී ඉල්ලා ගන්නැයි කියා පිටු පසින් බහින මගියා දැක දැක ඉස්සරහට යති. සිගන්නන්ද සොරකන් නොකරන රුපියල කොන්දොස්තරවරු නම් පැන පැන සොරකන් කරති.

සිගන්නන්ගේ ව්‍යාපාරයද සොරකන් වලින් අඩු නැත. බඩ ගිනි කෑමට යමක් අරන් දෙන්න යැයි කියා ලබා ගන්නා කෑම පාර්සලය එම කඩයටම නැවත විකුණති. බොරුව, රැවටීම මගින්ම අනිත් අයගේ මුදල් සොරකන් කරති.

ත්‍රීවිල්කරුවන් රථ වලට මීටර් සවි කරගෙන සොරකන් කරති. කිලෝමීටරයට රුපියල් පනහක් වන විට කිලෝමීටර් දෙකක් ගිය පසු ගණන තුන් ගුණයක් පමණ වන ලෙස මීටර් සාදා ගනිති. සමහර මීටර් අතින් වෙනස් කල හැකි පරිදි සකසාගෙන සොරකන් කරති.

පන්සල් වල හාමුදුරුවරුන් පින් කැට වල මුදල් ලබාගෙන ජංගම දුරකථන මිලදී ගනිති. දුරකථන බිල් පත් ගෙවා දමති. හමුදුවරුන්ට තරම් නොවන වැඩ කරමින් සොරා කති. පල්ලි වල පුජකයන්ද මිට දෙවෙනි නොවෙති. ඔවුන් මුදල් නිවෙස් වලට යවති. වාහන මිලදී ගනිති. උත්සව වැඩි වැඩියෙන් සංවිධානය කර වැඩි වැඩියෙන් මුදල් සොයාගෙන සොරකන් කරති.

ඕකි මෙකි නොකී අන් අයත් අඩු වැඩි වශයෙන් සොරකන් කරති. සොරකන් කිරීමට මාන බලති. ගානක් සොයා ගන්නේ කෙසේ දැයි දහ අතේ කල්පනා කරති. අසු නොවේ කියා දන්නවනම් සොරකන් කිරීමට බොහෝ පුරවැසියෝ ලංකාවේ සිටිති.
රුපියලත් සොරකන් කිරීමට පුරවැසියන් සිටින රටක මිලියන ගැන කවර කතාද? දේශපාලකයන් රුපියල අමතක කොට මිලියන ගැන සිහින දකිති. මිලියන සොරකන් කිරීමට අවශ්‍ය වටපිටාව සකසා ගනිති. නීති පද්ධති වලින් රිංගා ගොස් සොරකන් කරති. නීති පද්ධති වල හිඩැස් පිරවීමට උත්සුක නොවෙති. තමුන්ට පමණක් නොව අනාගත පරම්පරාවට සොරකන් කිරීමට අවශ්‍ය මග සකසා දෙති.

සොරකන් කර හෝ දියුණු වන මිනිසුන් ගැන, මිලියන ගණන් තියා රුපියලක් හෝ සොරකන් කිරීමට නොහැකි අප ඉර්ෂියාවෙන් ඉවසුම් නොමැතිව කෑ ගසති, කම්පා වෙති.